Tuesday, May 21, 2024

General line - 0115112241

වෛද්‍ය වර්ජනයෙන් රෝහල් සේවා අඩාලයි - පෞද්ගලික චැනලින් සේවා නිසි පරිදි

ලහිරු කපුගේ/රංජිත් රාජපක්ෂ/කාංචන ආරියදාස




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (18) පෙරවරු 8.00 සිට දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වනවා. ඒ, වැටුප් විෂමතා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්. වර්ජනය හේතුවෙන් රෝහල් රැසක කටයුතු අඩාළ වී ඇති බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ.

නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ අද දිනය සායනික දිනයක් බැවින් රෝහල් සඳහා පැමිණි බොහෝ රෝගීන් පිරිසක් අපහසුතාවයට පත්ව සිටින බවයි.

රෝගීන් පවසන්නේ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් සාධාරණ නම් ඒවාට විසදුම් ලබා දිය යුතු බවත්, මෙලෙස රෝගීන් අසරණ කිරීම සධාරණ නොවන බවයි. 

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල, වකුගඩු ප‍්‍රතිකාර ඒකක සහ ත‍්‍රිවිධ හමුදා රෝහල්වල සාමාන්‍ය පරිදි සේවා සිදුවන බවයි. 

මේ අතර වෛද්‍යවරුන් රජයේ රෝහල්වල වර්ජනය කළත් පෞද්ගලික වෛද්‍ය සායන සඳහා සහභාගී වන බව රෝගී ජනතාව චෝදනා කළා. ඒ අනුව පෞද්ගලික රෝහල්වල කටයුතු වලටද වෛද්‍ය වර්ජනයෙන් බාධාවක් එල්ලවී ඇත්දැයි නෙත් නිවුස් සොයා බැලීමක් කළා.

එහිදී සඳහන් කෙරුණේ වෛද්‍යවරු චැනලින් සේවා සඳහා පැමිණෙන බවයි.

අද උදෑසන ආරම්භ වූ වෛද්‍ය වර්ජනය හෙට (19) පෙරවරු 8.00 දක්වා ක‍්‍රියාත්මකයි.