Sunday, May 12, 2024

General line - 0115112241

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සිදුවී අදට මාස 06ක් - මිය ගිය ජනතාව වෙනුවෙන් තවමත් සාධාරණය ඉටු වී නැති බව පෙන්වයි




රටේම සිත් කඳුළින් තෙත් කළ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සිදුවී අදට (21) මාස 06ක්. ඉකුත් අප්‍රේල් මස 21 වැනිදා සිත්පිත් නොමැති බෝම්බකරුවන් පිරිසක් කතෝලික දේවස්ථාන 03 ක් සහ ප‍්‍රධාන හෝටල් 03 ක් ඉලක්ක කර මෙම ප‍්‍රහාරය එල්ල කළේ පුද්ගලයින් 260 කට වැඩි පිරිසකට දිවි අහිමි කරමින්. 

ඒ අතරට කුඩා දරුවන්, කාන්තාවන් සහ විදේශිකයින් ද අයත්. තවත් පුද්ගලයින් 503 දෙනෙකු තුවාල වූ මතකයන් සමග අදටත් ජීවත් වනවා. 

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 293 ක්.  ඉන් 115 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා. තවත් 178 දෙනෙකු රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන ප‍්‍රශ්න කරන බවයි පොලීසිය සඳහන් කළේ. 

මෙම ප‍්‍රහාරයෙන් පසු ඒ පිළිබඳ සොයා බැලීමට පරීක්ෂණ රැසක් ආරම්භ වුණා. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ද පත් කෙරුණු අතර එහි අවසන් වාර්තාව අනිද්දා (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු 60කට ආසන්න පිරිසකගේ සාක්ෂි එහි ඇතුළත්. පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට චෝදනා කරමින් අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු ද, පසුව අත්අඩංගුවට පත්වුණා. ඔවුන් ද අනිද්දා වනතෙක් රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ. 

මෙම ප‍්‍රහාරයෙන් පසු මෙරට සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත‍්‍ර රැසක් බිඳවැටුණා. ප‍්‍රහාරයට ලක්වූ දේවස්ථාන සහ හෝටල් ද මේ වනවිට ජනතාව වෙනුවෙන් යළි විවෘත කර අවසන්.

අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඞ් වසන්ත පියතුමන් පෙන්වා දෙන්නේ ජනතාව ඉල්ලන්නේ සාධාරණය ඉෂ්ඨ කර දෙන ලෙස බවත් ඒ ගැන සිය පාර්ශ්වය සෑහීමකට පත් වන්නේ නැති බවත් සඳහන් කළා.  

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වින්දිතයින්ට වන්දිගෙවීම තවදුරටත් සිදුවුවද, බිඳී ගිය සිත් සුවපත් කිරීමට තවත් බොහෝ දේ සිදුකළ යුතුව ඇතැයි ආගමික නායකයින්ගේ මෙන්ම විද්වතුන්ගේ ද අදහසයි.