Sunday, May 12, 2024

General line - 0115112241

පෝස්ටර් සහ කටවුට් සම්බන්ධයෙන් වූ පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය දින දෙයි

අධිකරණ වාර්තාකරු




මැතිවරණ සමයේ නීතිවිරෝධී ලෙසට ප්‍රදර්ශනය කරන පෝස්ටර් සහ කටවුට් වලින් සිදු වන දෘශ්‍ය දූෂණය (Visual Pollution) වැලැක්වීමට සම්පාදනය කර ඇති නීති රීති ක්‍රියාත්මක කිරීමට බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම ඔක්තෝබර් මස 31 දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (21) දින ලබා දුන්නා .

මෙම පෙත්සම අද දින අභියාචනාධිකරණයේ විනිසුරු ජනක් ද සිල්වා මහතා සහ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ කැදවූ අවස්ථාවේ වග උත්තරකාර පාර්ශ්වයක් ලෙසට නම් කර ඇති මධ්‍යම පරිසර අධිකාරියෙන් උපදෙස් ලබා ගැනීමට නීතිපතිවරයා කල් ඉල්ලා සිටියා .

මෙම රිට් පෙත්සම ගොනු කරන ලද්දේ පාරිසරික යුක්ති කේන්ද්‍රය විසිනි.

මීට පෙර අභියාචනාධිකරණයේ ගොනු කර ඇති රිට් පෙත්සමක නියෝගයක් අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් මැතිවරණ සමයේ සිදු වන දෘශ්‍ය දූෂණය වැලැක්වීමට අවශ්‍ය නීති රෙගුලාසි සම්පාදනය කර ඇති බවත් ඒවා මේ වන විට ක්‍රියාත්මක කර නොමැති බවට පෙත්සම්කරු පවසා සිටියි. ඒ අනුව මැතිවරණ පෝස්ටර් සහ කටවුට් වලින් සිදු වන දෘශ්‍ය දූෂණය වැළැක්වීමට මධ්‍යම පරිසර අධිකාරිය මේ වන විට අපොහොසත් වී බවට පෙත්සම්කරු චෝදනා කරන අතර එම අධිකාරිය මගින් අදාළ නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසට අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි .