Friday, February 21, 2025

General line - 0115112241

ක්ෂුද්‍ර මුල්‍ය ආයතන හරහා ගත් ණය සම්පුර්ණයෙන්ම කපා හැරීමට පියවර : කාන්තා ප්‍රඥප්තිය එළිදක්වමින් අමාත්‍ය සජිත් ගෙන් පොරොන්දුවක් 



නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් සිය කාන්තා ප්‍රඥප්තිය එළි දැක්වුවා. ඒ අද (21) කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී. ක්ෂුද්‍ර මුල්‍ය ආයතන වලින් ණය රැගෙන තිබෙන සියලුම කාන්තාවන් ගේ ණය මුදල් කපා ඉවත් කිරීමට තමන් ක්‍රියා කරන බවයි එහිදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා කියා සිටියේ.

ඉදිරියේදී තමන් කාන්තාවන් වෙනුවෙන් සහන පොළියට ණය ලබා ගත හැකි කාන්තාවන්ටම පමණක් වෙන්වූ බැංකුවක් විවෘත කරන බවයි එම උත්සවය අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ. එමෙන්ම තමන් ජනාධිපතිධුරයට පත්වූවාට පසු නව සුරාසැල් බලපත් නිකුත් නොකරන බවත් පාසැල් ආසන්නයේ තිබෙන සියලුම සුරාසැල් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. 

කාන්තා හිංසනය, දුෂණයට සම්පුරණයෙන්ම තිත තබන බවත්, එවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයින්ට එරෙහිව පනවා තිබෙන නිතී වැඩි කිරීමට සහ එවැනි පුද්ගලයින්ට දැඩි නීතිමය පියවර ගන්නා බවද සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම මාතෘ මන්ද පෝෂණය තුරන් කිරීමට සහ කාන්තාවන්ගේ සියලු අවශ්‍යතා වෙනුවෙන් තමන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවයි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

තමන් එළිදක්වන කාන්තා ප්‍රඥප්තිය නිසියාකාරව ක්‍රියාත්මක වීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවන බවත් සියලුම ප්‍රාදේශීය කාර්යාල වල ජනාධිපති කාර්ය සාධක ඒකකයන් පිහිටුවීමට ද පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මෙහිදී "දිරිය ඇය වෙනුවෙන් සෙනහසේ ඇරඹුම" කාන්තා ප්‍රඥප්තිය සඳහා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අත්සන් තැබුවා.