Friday, May 17, 2024

General line - 0115112241

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන සජිත් මතය ප්‍රකාශ කරයි




මෙරට ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන, කුඩු ජාවාරම් ක්‍රියාත්මක කරන, මිනිස්සු ඝාතනය කරන හැමෝටම එරෙහිව සර්ව සාධාරණ, විනිවිද භාවයෙන් යුතුව නීතිය ක්‍රියාත්මක කර මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු යැයි තමාගේ අදහස වී ඇති බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

මිනිසාට හිංසා කරන්න, මිනිස් ඝාතන සිදු  කරනවට තමන් කිසිසේත්ම අකැමැති වුවත්, රටේ ලක්ෂ සංඛ්‍යාත දූ දරුවන් විනාශ කිරීම බලා සිටිය නොහැකි නිසා එය වැළැක්වීම සඳහා දැඩි දඬුවම් ලබා දීමට තමන් කටයුතු කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රටේ පාසල් දරු දැරියන් ලක්ෂ සංඛ්‍යාවක් සහ තරුණ පරපුර, මුළු ජන සමාජයම විනාශ කරන, කුඩු මුදලාලිලාට සහ ත්‍රස්තවාදී ක්‍රියා සිදුකළ පුද්ගලයින්ට එරෙහිව සර්ව සාධාරණ නීතියක් යටතේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට විරුද්ධ ඇත්තෝ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේදැයි ද විමසා සිටියා. 

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ, කටාන නගරයේ පැවති ජන හමුවට ඊයේ (22) දින රාත්‍රියේ එක්වෙමින්.

ඇතැමුන් ව්‍යාජ අහිංසකත්වයක් රටට පෙන්වමින් බැටළු හම පොරවාගෙන ජනතවට සහන ලබා දෙන බවට ප්‍රකාශ කර බලයට පැමිණිමට උත්සාහ කරන බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.