Sunday, May 12, 2024

General line - 0115112241

ලොව පුරා හින්දු බැතිමතුන් දීපවාලී උත්සවය සමරයි




ලොව පුරා හින්දු බැතිමතුන්ගේ ආගමික මංගල්‍යය වන දීපවාලි උත්සවය අදට (27) යෙදී තිබෙනවා. පහන් ආලෝකය යන තේරුම ඇති දීපවාලි උත්සවයේදී හින්දු බැතිමතුන් විෂ්ණු දෙවියන් වෙනුවෙන් පහන් දල්වමින් ආශිර්වාද ප්‍රාර්ථනා කරනු ලබනවා. හින්දු බැතිමතුන් දීපවාලි උත්සවය සමරනු ලබන්නේ, මිනිසුන්ගේ අඥාණය දුරු වී ප්‍රඥාව පහළ වූ දිනයක් ලෙස බවයි ජාත්‍යන්තර හින්දු සම්මේලනයේ ලේකම් රාමචන්ද්‍රන් කුරුක්කල් බාබු ශර්මා පැවසුවේ.

මේ අතර දීපවාලි උත්සවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ සංහිඳියාවේ අපේක්ෂාව පෙරදැරිව වෙසෙන අපට වාර්ගික සංහිඳියාවත් අන්‍යොන්‍ය අවබෝධයත් ඇති කරගැනීමට මෙබදු සංස්කෘතිකාංග බෙහෙවින් ඉවහල් වන බවයි. දීපවාලි සංස්කෘතික මංගල්‍යය මෙරට පමණක් නොව සෙසු රටවල් අතර ද සහෝදරාත්මක බැඳීම ඇති කරගැනීමට සාධනීය අවස්ථාවක් බව ද ජනාධිපතිවරයා සිය දීපවාලි සුබ පැතුම් පණිවුඩය මගින් පෙන්වා දෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද දීපවාලි උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. සිය පෞද්ගලික අභිමතාර්ථ සපුරා ගැනීම පිණිසම නොව, අන්‍යයන්ගේ යහපත කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බව දීපවාලි උත්සවයෙන් ඉගැන්වෙන බවයි අග්‍රමාත්‍යවරයා පෙන්වාදෙන්නේ. භේද - භින්නවීමට දහසකුත් හේතු මතු වුව ද, ස්වකීය සිත් සතන් තුළ ප්‍රඥා ලෝකය දුරු කර නොගෙන එක්සත්ව සාමයෙන් සමගියෙන් දිවිගෙවීම අප සැමගේ වගකීම බව අග්‍රමාත්‍යවරයා සිය දීපවාලි පණිවුඩයෙන් පෙන්වා දෙනවා.

මේ අතර, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද දීපවාලි උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. හින්දු සහෝදර - සහෝදරියන්ට මෙම දීපවාලි දින පණිවුඩය තුළින් වඩා අර්ථවත් මෙන්ම සාමය සහ සතුට පිරි ජීවිතයකට තමන් සුබ පැතුම් එක් කරන බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. ලොව පුරා වෙසෙන සියලුම හින්දු බැතිමතුන්ට වාසනාවන්ත ආලෝකමත් දීපවාලි දිනයක්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් පණිවුඩය මගින් ප්‍රාර්ථනා කර තිබෙනවා.