Saturday, May 11, 2024

General line - 0115112241

කුහරයේ සිරවූ දරුවා බේරා ගැනීමට විශේෂ යන්ත්‍රයක් ගෙන එයි 




අතහැර දැමූ වගාළිඳක කුහරයක් තුළ සිරවී සිටින අවුරුදු දෙකක් වයසැති ඉන්දීය දරුවා මුදාගැනීමේ මෙහෙයුම් මේවනවිට අඛණ්ඩව සිදු කෙරෙමින් පවතිනවා. ඒ, එරට ඉන්ධන හා ගෑස් සමාගමකට අයත් විශේෂ කැනීම් යන්ත්‍රයක් මගින්. දරුවා අඩි 27 ක් පමණ වන කුහරයක් තුළ සිරවී සිටින බවට මීට පෙර පැවසුවත්, බලධාරීන් විශ්වාස කරන්නේ ඔහු අඩි 100 ක් පමණ ගැඹුරු ස්ථානයක සිරවී සිටින බවයි. 

ඒ අනුව දරුවා සිරවී සිටින ළිං කුහරයට මීටර් 03 ක් පමණ දුරින් අඩි 110 ක් පමණ ගැඹුරට තවත් කුහරයක් සාදා ඒ තුළින් දරුවා සිටින ස්ථානයට උමගක් සෑදීමටයි බලධාරීන් සැලසුම් කර ඇත්තේ. ඉදිකරන එම උමග හරහා ගිනිනිවන භටයින් දෙදෙනෙකු දරුවා සිටින ස්ථානය වෙත පිටත්කර ඔහු මුදා ගැනීමට හැකි වෙනු ඇතැයි බලධාරීණ් අපේක්ෂා කරනවා. 

කෙසේවෙතත් දරුවා එම ළිංකුහරය තුළ සිරවී මේවනවිට දින 02 කට ආසන්න වනවා. ඒ අනුව ඔක්සිජන් සැපයුවත් ආහාර හෝ ජලය නොමැතිව සිටින දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය අවිනිශ්චිත බවයි බලධාරීන් බිය පළ කරන්නේ.