Sunday, May 12, 2024

General line - 0115112241

ජනපති අපේක්ෂකයින් 29 දෙනෙකු වත්කම් බැරකම් ප්‍රකාශ භාරදෙති




මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 35 දෙනාගෙන් 29 දෙනෙකු මේවනවිට වත්කම්, බැරකම් ප්‍රකාශ ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයින් සියලු දෙනා මේවනවිටත් සිය වත්කම්, බැරකම් ප්‍රකාශ ලබාදී ඇති බවයි.

දුමින්ද නාගමුව සහ අශෝක වඩිගමංගාව ඇතුළු අපේක්ෂකයින් 06 දෙනෙකු පමණක් මේ දක්වා වත්කම්, බැරකම් ප්‍රකාශ ලබාදී නොමැති බව ද මැතිවරණ කොමිෂන් සභාවේ එම ප්‍රකාශකයා සඳහන් කළා. 

මේ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා හාඞ්බෝඞ් වලින් සකස් කරන ලද ඡන්ද පෙට්ටි දස දහසක් යොදා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මෙතෙක් භාවිත කරන ලද ලී වලින් සකස් කළ ඡන්ද පෙට්ටි මෙවර ජනාධිපතිවරණයේදී භාවිතයට ගැනීම සීමා කිරීමටයි එම කොමිසම තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඡන්ද 400 ට අඩු ඡන්ද මධ්‍යස්ථාන සඳහා පමණක් ලී වලින් සකස් කරන ලද ඡන්ද පෙට්ටි යොදාගැනීමට ද තීරණය කර තිබෙනවා. උතුර, නැගෙනහිර හා උතුරු මැද පළාත්වල ඡන්ද මධ්‍යස්ථාන සඳහා, මීට පෙර මිලදී ගෙන තිබූ ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි යොදා ගැනීමට නියමිත බවයි මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේ.