Monday, May 13, 2024

General line - 0115112241

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පාසැල් හෙට වසා තැබේ 




දැනට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (30) දිනයේ වසා දමන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර විසින් පළාත් අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

පවතින අධික වර්ෂාවත් සමග ගං වතුර තත්ත්වයන් සහ හදිසි නාය යෑමේ අවධානම් මතුවීම නිසා මෙම නියෝගය ලබා දුන් බවයි දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර නාවික හමුදාව විසින් දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක සහන මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. තවලම සහ නෙළුව යන ප්‍රදේශවලට නාවික හමුදා සහන කණ්ඩායම් අනියුක්ත කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ගාල්ල දොඩංගොඩ පාලම ආශ්‍රිතව ද නාවික හමුදාව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. 

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හෙට සිට ක්‍රමයෙන් අඩුවනු ඇති බවයි. කෙසේවෙතත් උතුර, උතුරු මැද, වයඹ සහ මධ්‍යම යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක තදවැසි ඇදහැලෙනු ඇති බව ද වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.