Tuesday, May 14, 2024

General line - 0115112241

නියෝග කඩ කළ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින්ට එරෙහිව විනය පියවර ගන්න : නීතිපතිවරයා දන්වයි 




නීතීපතිවරයාගේ උපදෙස් උල්ලංඝණය කරමින් සැකකරුවන් සමඟ ඇතිකරගත් එකඟතාවයකට අනුව කටයුතු කර ඇති බවට පෙනී යන හෙයින් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් සම්බන්ධයෙන් වහාම විනය පියවර ගන්නා ලෙස නීතීපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට අද (01) නියෝග කරනු ලැබුවා.

2011 වර්ෂයේදී වව්නියාවේ සෙට්ටිකුලම් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් පිළිබඳව තොරතුරු වසන් කිරීම හා එම රිය අනතුර සිදුකළ සැකකරුට එරෙහිව නීතීය ක්‍රියාත්මක නොකොට ඔහුට පළා යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා හා වව්නියාව හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා, පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 06 දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලබාදුන් උපදෙස් අනුව කටයුතු කර නොමැති බව සඳහන් කරමින් නීතීපතිවරයා විසින් ඉකුත්දා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නා.

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් සැකකරුවන් සමඟ පෙර කථා කරගත් එකඟතාවයකට අනුව නීතීපතිවරයාගේ උපදෙස් උල්ලංඝණය කරමින් කටයුතු කරඇති බවට පෙනී යන බව මෙහිදී නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ ලිඛිත උපදෙස් වල සඳහන් බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජේෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කර සිටියා.

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් නීතීපතිවරයාගේ උපදෙස් මෙන්ම අපරාධ නඩු විධාන ක්‍රියාපටිපාටිය උල්ලංඝණය කරමින් සැකකරුවන් සමඟ පෙර කථා කරගත් එකඟතාවයකට අනුව කටයුතු කර ඇති බවක් පෙනී යන බව සඳහන් කරන නීතීපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් අත්තනෝමතිකව කටයුතු කොට ඇති ආකාරය පිළිබඳවද වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කොට ඇත.

පාර්ලිමෙන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා සහ විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජී.ඩී. අමරසිරි යන අයගේ ප්‍රකාශ වහාම සටහන් කරගෙන සම්පුර්ණ විමර්ශන කටයුතු දින තුනක් ඇතුලත විමර්ශන උධෘත නීතීපති දෙපාර්තමෙන්තුවට බාරදීමට පියවර ගන්නා ලෙසද නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.

හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගාට ලැබුණු බලපත්‍රයක් මත ඔහු විසින් ලබාගත් ලියාපදිංචි නොකළ මෝටර් රථයෙන් ඔහු සිය ආරක්‍ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ පොලිස් නිලධාරියා සමඟ 2011 මාර්තු මස 30 වැනිදා ගමන් කරමින් සිට ඇති අතර එසේ ගමන් කරමින් සිටියදී වව්නියාව සෙට්ටිකුලම් රෝහල අසලදී ගසක හැපී අනතුරක් සිදුවුණා. එම අනතුරෙන් හිටපු මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියා ජිවිතක්ෂයට පත්වුණා.