Tuesday, May 14, 2024

General line - 0115112241

ජාතියේ නාලිකාව 'නෙත් FM' 14 වැනි සංවත්සරය අද




නෙත් එෆ්. එම්. රේඩියෝව අද (03) සිය 14 වන සංවත්සරය සමරනවා.

නිල වශයෙන් කටයුතු ආරම්භ කිරීමට ප‍්‍රථම නෙත් එෆ්. එම්. රේඩියෝව 2005 වසරේ සැප්තැම්බර් මස 15 වන දින අලුයම 05.40 ට සිය පරීක්ෂණ සම්පේ‍්‍රෂණ කටයුතු ආරම්භ කළා. එදින ප‍්‍රචාරය වූ පළමු ගීතය වූයේ විශාරද නන්දා මාලිනී ගායනා කරන ”බුද්ධානු භාවේන” ගීතයයි.

ඒ අනුව 2005 වසරේ නොවැම්බර් මස 3 වැනිදා උදෑසන 8.41 ට නෙත් එෆ්. එම්. රේඩියෝව නිල වශයෙන් ආරම්භ වූයේ මෙරට රේඩියෝ වංශ කතාවේ නව පිටුවක් සනිටුහන් කරමින්.

ගායන ශිල්පී පුන්සිරි සොයිසා ගායනා කරන ”ගංගා දියවැල් ගලා” යන ගීතය නෙත් එෆ්. එම්. රේඩියෝව එදින ගුවනට මුසු කළ පළමු ගීතයයි. එදින දහවල් 12.00 ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ ප‍්‍රචාරය වූ පළමු ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය වනවා.

එතැන් පටන් ගතවූ වසර 14 පුරාම නෙත් එෆ්. එම්. රේඩියෝව උත්සාහ කළේ යහපත් මාධ්‍ය භාවිතයක යෙදෙමින් ශ‍්‍රාවකයාට නිවැරදි මග පෙන්වීමක් කිරීමටයි. 

විවේචනවලට සීමා නොවී වගකිම් ඉටුකිරීමට ක‍්‍රියාවෙන් පෙරට ආ යුතු බව ආදර්ශයෙන් පෙන්වා දීමට ද නෙත් එෆ්. එම්. රේඩියෝව උත්සාහ කරමින් සිටිනවා. ‘‘වී ලීඞ් ශ‍්‍රී ලංකා’’ සංකල්පය යටතේ විවිධ මෙහෙයුම් සංවිධාන කෙරෙන්නේ ද ඒ අනුවයි. ‘‘නෙත් නිවුස් යූ ආර් අ ලීඩර්’’ නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහන දිවයින පුරා පාසල්වල සංවිධාන කෙරෙන්නේ ජාතියට වටිනා අනාගත නායකයින් බිහිකිරීමේ අරමුණින්.

අවශ්‍යතා සහිත තැනැත්තන් සහ ආයතන හඳුනාගෙන ඔවුන්ට සහයවීම සඳහා දිරිය නෙත් ක‍්‍රියාන්විතය ද නෙත් එෆ්. එම්. රේඩියෝව සවිබල ගන්වා තිබෙනවා.  

ස්වභාවික ආපදා අවස්ථාවලදී විපතට පත්වූවන් බේරාගැනීමට සහ ඔවුන්ට ආධාර ලබාදීමටත්, අඩු පහසුකම් සහිත පාසල් සහ විහාරස්ථාන නගාසිටුවීමටත් නෙත් එෆ්. එම්. රේඩියෝව කටයුතු කරන්නේ දිරිය නෙත් ක‍්‍රියාන්විතය හරහායි. 

නෙත් එෆ්. එම්. රේඩියෝවේ බැලුම්ගල ඇතුලු සියලු වැඩසටහන් ජනතා ප‍්‍රසාදයට සහ සම්මානයට ද පාත‍්‍ර වී තිබෙනවා.

නෙත් එෆ්. එම්. රේඩියෝව ජනාධිපති සම්මාන ඇතුලු සම්මාන රැසකින් පිදුම් ලැබූ අවස්ථා ද බොහෝමයි. නෙත් එෆ්. එම්. රේඩියෝවේ ආගමික වැඩසටහන් සහ ළමා වැඩසටහන් ද බොහෝදෙනාගේ අගය කිරීිමට ලක් වනවා. 

වාර්තාකරණයට සිමා නොවී ජනතාවට සත්‍ය වටහා ගැනීම සඳහා ගවේෂණාත්මක මග පෙන්වීමක් කිරීම හේතුවෙන් නෙත් නිවුස් කෙරෙහි ද බොහෝදෙනා තුළ ඇත්තේ ඉහල ප‍්‍රසාදයක්. 

පුරා වසර 14 ක් මෙතරම් සාර්ථක ගමනක් පැමිණිමට නෙත් එෆ්. එම්. රේඩියෝවට ධෛර්යය වූයේ ශ‍්‍රාවක ඔබයි. ඔබට අපේ ප‍්‍රණාමය.