Wednesday, May 15, 2024

General line - 0115112241

සජිත්ගේ ප්‍රතිපත්ති ගැන සම්බන්ධන් දුන් මතය මැද සාකච්ඡා අරඹයි

මාධව කුලසූරිය




ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ මධ්‍යම කාරක සභා සාමාජිකයින් අද (03) වවුනියාව පෞද්ගලික හෝටලයකදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ උපදේශක දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් හා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවේයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.

සාකච්ජාවේදී එළැඹෙන ජනාධිපතිවරණයේදී  ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි.

දෙමළ ජාතික සන්ධාන‍ය තුළ පවතින ප්‍රධානතම දේශපාලන පක්ෂය වන්නේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයයි.

මාවේයි සේනාධිරාජා නායකත්වය දරණ ඉංලගෙයි තමිල් අරසු කච්චි පක්ෂය, උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් නායකත්වය දරන දෙමළ මහජන පෙරමුණ, සෙල්වම් අඩෙක්කලනාදන් නායකත්වය දරණ ටෙ‍ලෝ සංවිධානය, ධර්මංලිංගම් සිද්ධාර්ථන්  නායකත්වය දරණ ප්ලොට් සංවිධානය හා සුරේෂ් ප්‍රේමචන්ද්‍ර නායකත්වය දරණ ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය යන පක්ෂ ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කිරීමට එකඟතාවයකටද එළැඹ තිබෙනවා.

කරුණු13 කින් යුතු යෝජනාවලියක් ප්‍රධාන දේශපාලන පක්ෂවල ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් වෙත අදාළ පක්ෂ විසින් ඉදිරිපත් කළ අතර අදාළ යෝජනාවලිය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා සාධාරණයක් ඉටුවන බවට දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් සජිත් ‍ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කොට තිබුණා.