Tuesday, May 14, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම නේපාලයේදී අදත් අපහසුතාවක




13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා නේපාලයේ කත්මන්ඩු නුවර වෙත පැමිණි මළල ක්‍රීඩකයින් අද (30) දිනයේ ද දැඩි අපහසුතාවයකට පත් වූ බව නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණා. ඊයේ දිනයේ මෙන්ම ඔවුන් අද දිනයේ ද නවාතැන් පහසුකම් නොමැතිව පීඩාවට පත් වූ බවයි වාර්තා වන්නේ.

ඔවුන්ට කත්මන්ඩු නුවර හෝටල් 03 ක් වෙත යාමෙන් පසුවයි නිශ්චිත ස්ථානයක නවාතැන් ගැනීමට හැකියාව හිමි වුණේ. නිශ්චිත නවාතැනක් සොයා ගැනීම සඳහා මළල ක්‍රීඩකයින් සිය ගමන්මලු ද රැගෙන බොහෝ දුරක් පා ගමනින් කත්මන්ඩු නුවර හෝටල් වෙත ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම තරඟාවලියට එක්ව සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩක  ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙකු චෝදනා කරන්නේ ක්‍රීඩා බලධාරීන් ක්‍රීඩා උළෙල ආරම්භයට දින කිහිපයකට පෙර නේපාලයේ පවතින පහසුකම් සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි බවයි. ඔවුන් එසේ පැමිණිය ද තමන්ට මේ දක්වා සැලකිය යුතු නවාතැන් පහසුකම් ලබා දීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර නොමැති බවයි එම ක්‍රීඩක - ක්‍රීඩිකාවන් චෝදනා කරන්නේ.

මේ අතර, 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන මේස පන්දු, ගොල්ෆ් ඇතුළු තවත් ක්‍රීඩා ඉසව් කිහිපයක ක්‍රීඩක - ක්‍රීඩිකාවන් රැසක් අද පෙරවරුවේ නේපාලය බලා පිටත්ව යාමට සූදානම්ව සිටියා. 

කෙසේ වෙතත්, ඔවුන් රැගත් ගුවන් යානය ඉන්දියාවේ නව දිල්ලි හරහා නේපාලය බලා පියාසර කිරීමටයි නියමිතව තිබුණේ. එහෙත්, නව දිල්ලි නුවර බලා පියාසර කරමින් තිබූ එම ගුවන් යානය අධික දූවිලි තත්වය හේතුවෙන් ජායිපූර් ගුවන් තොටුපළ වෙත හදිසියේ ගොඩ බස්වා තිබෙනවා.

මේ හේතුවෙන් නව දිල්ලි නුවර සිට කත්මන්ඩු නුවර බලා ගමන් ගන්නා ගුවන් යානය ද එම ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ට මග හැරී ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ.  13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මන්ඩු නුවරදී හෙට ආරම්භ වීමට නියමිතයි.