Tuesday, May 14, 2024

General line - 0115112241

කරුණු කිහිපයක් ගැන අවධානය යොමු කරන්නැයි සජිත්, ජනපතිගෙන් ඉල්ලයි




නව ආණ්ඩුව ජනතාවට පොරොන්දු වූ නිදහස් හා සාමකාමී රට බිහි කරන ලෙසත් පලිගැනීම් ක්‍රියාවලියට රාජ්‍ය තන්ත්‍රය යොමු නොකරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, නිවේදනයක් නිකුත් කරමින්.

සිය නිවේදනයෙන් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, සිදුවෙමින් පවතින ඇතැම් සිද්ධි, සන්සුන් සමාජය බොහෝ සෙයින් භීතියට පත් කිරීමට හේතුවී ඇති බවයි. මෙම තත්ත්වය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසටත්, තොරතුරු දැනගැනීමේ අයිතියටත් එරෙහිව රාජ්‍ය තන්ත්‍රය ක්‍රියාත්මක වීමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. රට සුරක්ෂිත කිරීම, පළිගැනීමට තිත තැබීම, ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළින් ඔසවා තැබීමේ පොරොන්දුව මත ජනතාව ලබාදුන් ජනවරම පලුදු නොකරන ලෙසයි  සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික අවධානය යොමු කරන ලෙසයි සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සිය නිවේදනය මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.