Tuesday, May 14, 2024

General line - 0115112241

හදවත් රෝගීන්ව මකුණන් වට කරගෙන කයි (PHOTOS)




කොළඹ ජාතික රෝහලේ වාට්ටු කිහිපයක මකුණන් බෝවීම වැඩිවීම හේතුවෙන් නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන් රැසක් පීඩාවට පත්ව සිටිනවා.

හදවත් රෝගී ඒකකය සහ 60, 61, 70 සහ 71 යන වාට්ටුවල තිබෙන ඇඳන්වලට යොදා ඇති මෙට්ටවල මෙලෙස මකුණන් බහුල වශයෙන් සිටින බවයි නෙත් නිවුස් ඇමතූ බොහෝ දෙනෙකු ප‍්‍රකාශ කළේ.

රෝගීන් විසින් කිහිප අවස්ථාවකදීම මේ පිළිබඳ රෝහල් බලධාරීන් දැනුවත් කළ ද ඔවුන් ඒ සම්බන්ධයෙන් කිසිඳු ප‍්‍රතිචාරයක් නොදක්වන බවයි නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ පිරිස් චෝදනා කර සිටියේ. 

මකුණන්ගෙන් පීඩාවට පත්ව සිටින හදවත් රෝගී ඒකකයේ ඇතැම් නේවාසික රෝගීන් පෞද්ගලික වියදමෙන් විවිධ රසායනික ද්‍රව්‍ය මිලදී ගෙන ඇඳන්වලට යොදන බව ද නෙත් නිවුස් වෙත වාර්තා වුණා. වාට්ටුවල ප‍්‍රයෝජනය සඳහා අලුත් මෙට්ට ලබාදී තිබුණත්, බලධාරීන් විසින් ඒවා භාවිතයට නොගන්නා බවට ද රෝගීන් චෝදනා එල්ල කරනවා. 

කොළඹ ජාතික රෝහලේ වාට්ටු කිහිපයක ඇතිවී තිබෙන මෙම මකුණු උවදුර සම්බන්ධයෙන් නෙත් නිවුස් එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ඩබ්ලිව්. කේ. වික‍්‍රමසිංහගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ වාට්ටු කිහිපයක පවතින මකුණු උවදුර පිළිබඳ තමන්ටද පැමිණිලි ලැබුණු බවයි. 

මකුණන් මර්ධනය කිරීම සඳහා මේවනවිටත් පිළියම් යොදා ඇති බව ද ඔහු කියා සිටියා. හදවත් රෝගී ඒකකයේ සහ වාට්ටු කිහිපයක රෝගීන් රැසක් ප‍්‍රතිකාර ලැබීම හේතුවෙන් එම මකුණු මර්ධන කටයුතු කඩිනමින් සිදු කිරීමට බාධා එල්ල වී තිබෙනවා. ඒ හේතුවෙන් කොටස් වශයෙන් එම වාට්ටුවල මකුණු මර්ධන කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ඩබ්ලිව්. කේ. වික‍්‍රමසිංහ වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.