Tuesday, May 14, 2024

General line - 0115112241

රටවල් රැසක සරසවි සිසුන් කළ නිර්මාණ පරදවා ශ්‍රී ලාංකික සිසුන් නිපදවූ විශ්මිත තොප්පිය ජයග්‍රහණය කරයි (PHOTOS)

ටී කේ ජී කපිල




සුප්‍රකට ළමා චිත්‍රපට කතා මාලාවක් වන හැරී පෝටර් පැළඳ සිටින විස්මිත තොප්පිය (Sorting Hat) ආකෘතියේ නව නිපැයුමක්  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ව්ද්‍යා පීඨයේ  පරිගණක විද්‍යා අංශයේ සිසුන් විසින් නිපදවා තිබෙනවා.

එය 11 වැනි ජාත්‍යන්තර රොබෝටික් තරඟාවලියට ඉදිරිපත් කර ඒ සඳහා පළමු ස්ථානය දිනා ගැනීමට ද සමත් වී තිබෙනවා.

ඒ.සී. ගම්මන්පිල, ඒ.පී. විජේසිංහ, ටී.එන්. වන්නිආරච්චි, ඊ.එම්.වී.එන්. අමාජීව, ඩී.වයි.ජයසිංහ සහ පී. රවීන්ද්‍ර, එස්. ද . සිල්වා යන සිසුන් කණ්ඩායම මෙම නව නිපැයුම සඳහා දායක වී තිබෙනවා.

මෙම තොප්පිය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළ එම විශ්ව විද්‍යාල සිසුන් කියා සිටියේ "මෙම තොප්පිය සම්පූර්ණයෙන්ම පරිගණක දත්ත ඇසුරින් ක්‍රියාත්මක වෙනවා. මෙම තොප්පිය පැළඳ සිටින අයෙකු අසලට කවුරු හෝ පුද්ගලයකු පැමිණියහොත් ඒ බව මෙම තොප්පිය පැළඳ සිටින පුද්ගලයාට තොප්පිය තුළ සවි කර ඇති සංවේදක මගින් දැනුම් දෙනවා. ඊට අමතරව "ඔටිසම්" රෝගය වැළඳි ඇති දරුවන් නිතරම සමාජශීලී නැහැ . ඔවුන් අනෙක් දරුවන් සමග කතා කිරීමට බයයි.. අකමැතියි.. එම දරුවන්ට මෙම "ඔටිසම්" රෝගී තත්ත්වය  වැළඳී ඇත්ද නැද්ද යන්න  මුලින්ම අනාවරණය කර ගැනීමට මෙම තොප්පිය සමත් වෙනවා. එම රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන් මෙම තොප්පිය පැළඳීමෙන් ඔවුන්ගේ මොළයේ නියුරෝන වෙත යොමු කෙරෙන උත්තේජන මගින් අනෙක් දරුවන් සමග සාමාන්‍ය පරිදි සතුටින් ගත කිරීමට මෙහි ඇති පරිගණක ක්‍රියාකාරීත්වය උපකාර කරනවා."

මෙම ජාත්‍යන්තර රොබෝටික් තරගාවලිය ඉකුත් නොවැම්බර් මස 26 වැනිදා සිට 29 වැනිදා තෙක් ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවර පැවත් වුණා.

ඒ සඳහා යුරෝපය, ආසියාව සහ අමෙරිකාව නියෝජනය කරමින් පිළිගත් විශ්වවිද්‍යාල රැසක සිසුන් පිරිස් සහභාගී වී තිබෙනවා. 

ඒ අනුව එම  සියලුම සිසුන් ඉදිරිපත් කර තිබූ නිර්මාණ පරදවා මෙම ශ්‍රී ලාංකික සිසුන් ඉදිරිපත් කළ හැරී පෝටර් තොප්පිය මෙම ජයග්‍රහණය දිනා ගැනීමට සමත් වී තිබුණා.

මෙම සිසුන් පිරිස මෙම ජයග්‍රහණය ද රැගෙන ඊයේ (01)  දින රාත්‍රි 8.40 ට  ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන  ගුවන් යානයෙන් කටුනායක  ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඔවුන් පිළිගැනීමට එම සිසුන්ගේ දෙමාපියන්, එම විශ්වවිද්‍යාලයේ සහෝදර සිසුන් මෙන්ම එම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරුන් ද ගුවන් තොටුපළ  වෙත පැමිණ සිටියා.