Tuesday, May 14, 2024

General line - 0115112241

වරායේ සවිකර ඇති නවීන ස්කෑන් යන්ත‍්‍ර මිනිස් සිරුරට අහිතකර නැති බවට තහවුරු කරයි




වරායේ සවිකර තිබෙන නවීන ස්කෑන් යන්ත‍්‍ර මගින් මිනිස් සිරුරට අහිතකර බලපෑමක් නොමැති බව ශ‍්‍රී ලංකා රේගුව පවසනවා. අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයරත්න පැවසුවේ පරමාණුක බලශක්ති නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු කණ්ඩායමක් ඒ බව සනාථ කළ බවයි.

වෛද්‍ය මණ්ඩලයක් සහ මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ කමිටුවක් ද ඔවුන් සමග වරාය අධිකාරියට ගෙන්වා ද නවීන ස්කෑන් යන්ත‍්‍ර පරීක්‍ෂා කර වූ බව ඔහු කියාසිටියා. ඒ අනුව මෙම අති නවීන ස්කෑන් යන්ත‍්‍ර පිළිබඳ විශ්වාසය තැබිය හැකි යැයි බහාලූම් රියදුරන් ද අවබෝධ කර ගනු ඇතැයි අපේක්ෂා කරන බව අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයරත්න සඳහන් කළා.

වරාය අධිකාරියේ අලුතින් ස්කෑන් යන්ත‍්‍ර හතරක් සවිකර තිබෙනවා. ඒවා හරහා බහාලුම් ගමන් කිරිමේදී රියදුරන් හා රිය සහායකයින් ද එක්ස් කිරණවලට භාජනය වන බවට බහලුම් රියදුරන් චෝදනා කළා. ඒ අනුව ඔවුන් ඊයේ පැය කිහිපයක් වැඩවර්ජනයක නිරතවුණා. පසුව බලධාරීන් මැදිහත් වී ඊයේ දවස පුරාම එම ස්කෑන් යන්ත‍්‍ර ක‍්‍රියා විරහිත කර තැබූ අතර සාමාන්‍ය පරිදි බහාලුම් ප‍්‍රවාහන සිදු කෙරුණු බවයි වාර්තා වුණේ. 

අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයරත්න පැවසුවේ ලබන සතියේ සිට නවීන ස්කෑන් යන්ත‍්‍ර භාවිත කරමින් සාමාන්‍ය පරිදි මෙහෙයුම් සිදුකළ හැකි බවයි.