Friday, May 17, 2024

General line - 0115112241

අඩු ආදායම්ලාභීන් ලක්‍ෂයකට ජනවාරි 15ට පෙර රජයේ රැකියා (PHOTOS)




අඩු ආදායම්ලාභී පවුල්වල පුද්ගලයින් ලක්‍ෂයකට ලබන ජනවාරි 15 වනදාට පෙර රජයේ රැකියා ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. ස්වයං රැකියා සදහා ප්‍රාග්ධනය නොමැති, වගා කිරීමට ඉඩම් නොමැති හෝ සමෘද්ධිලාභීන් වැනි කණ්ඩායම්වලින් මේ සදහා සුදුස්සන් තෝරා ගන්නා බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

මෙම රැකියා සදහා අධ්‍යාපන සුදුසුකම් විශේෂයෙන් සලකා නොබලන බවද කෙසේවෙතත් උසස් පෙළ සමතුන්ට මෙම රැකියා ලබා නොදෙන බවද ජනාධිපතිවරයා පැවසුවා. අඩු ආදායම්ලාභී පවුල් ආර්ථිකව සවිබල ගැන්වීම මෙම රැකියා ව්‍යාපෘතියේ අපේක්‍ෂාවයි.
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මෙන් ශක්තිමත් නව බලකායක් පෙදරේරුවන් සහ වඩු කාර්මිකයන් වැනි ශිල්පීන්ගෙන් නිර්මාණය කළයුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ඒ සදහා එම ශිල්පීන්ට පුහුණුවක් ලබාදීමටද කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

රැකියා විරහිත උපාධිධාරීන් සදහා ගුරු පුහුණුවක් ලබාදී ඔවුන් ගුරු පුරප්පාඩු පවතින පාසල්වලට අනියුක්ත කරන බවද මෙහිදි ප්‍රකාශ කෙරුණා. ලෝක වෙළද පොලෙහි ඇති රැකියා අවස්ථා පිළිබදවද විමසිල්ලෙන් සිටින බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ඒ අනුව ලෝක වෙළද පොලෙහි ඇති රැකියා අවස්ථා සදහා සුදුසුකම් සපුරා ගැනීමට ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට පහසුකම් හා අවස්ථා ලබාදෙන බවද ජනාධිපතිවරයා පැවසුවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම කරුණු දැක්වූයේ මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ අද (16)  පස්වරුවේ පැවති සාකච්ඡාවකදීයි.

නෙත් නිවුස් ප්‍රාදේශීය වාර්තාකරු තුසිත කුමාරට ඉකුත්දා සිදුවූ පහරදීම පිළිබදවද මෙහිදී ප්‍රශ්න කෙරුණා. ජනාධිපතිවරයා පැවසුවේ තමන් ඒ පිළිබද සොයා බලන බවයි. තම පාලනය යටතේ මාධ්‍ය නිදහසට කිසිදු අවහිරයක් ඇති නොකරන බවද වැරදි ඇත්නම් පෙන්වා දෙමින් ආණ්ඩුව විවේචනය කිරීමට මාධ්‍යවේදීන්ට නිදහස තිබෙන බවද ජනාධිපතිවරයා පැවසුවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය කඩිනමින් වෙනස් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙන්වා දෙනවා. එසේ නොමැතිව ආණ්ඩුවක් පවත්වාගෙන යාමද දුෂ්කර වන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. 
 

අමෙරිකාව සමග අත්සන් කිරීමට යෝජිතව තිබූ එම් සී සී ගිවිසුම සම්බන්ධයෙන් නව ආණ්ඩුවේ ස්ථාවරය කුමක් දැයි ද මෙහිදී ප්‍රශ්න කෙරුණා. ජනාධිපතිවරයා පැවසුවේ එහි කරුණු අධ්‍යයනය කිරීම සදහා කමිටුවක් පත් කරන බවයි. 

හම්බන්තොට වරාය සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රශ්න කෙරුණු අතර තමන් විමසිලිමත් වන්නේ එහි ව්‍යාපාරික කරුණු කෙරෙහි නොව ජාතික ආරක්‍ෂාවට ඇති බලපෑම පිළිබදව බවයි. සියළු වරායන් ශ්‍රී ලංකා රජය යටතේ පැවතිය යුතුය යන්න තම මතය බවද ජනාධිපතිවරයා පැවසුවා. 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ දේශපාලන හැසිරීම පිළිබදවද මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති ප්‍රධානීන් මෙහිදී ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පැවසුවේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණය මෙහෙයවනු ලබන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මහ මැතිවරණය ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමෙන් පසු පළාත් සභා මැතිවරණයද පැවැත්වීමට අදහස් කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ. මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා ගනිමින් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ කරන බවද ජනාධිපතිවරයා පැවසුවා.
 

ජාතික ආරක්‍ෂාව සහ ජාතීන් අතර සමගිය පිළිබද අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසුවේ ජාතික ආරක්‍ෂාව තහවුරු නොකර ජාතික සමගිය ඇති කළ නොහැකි බවයි. හොද රැකියාවක්, හොද සෞඛ්‍ය සේවයක් සහ සාධාරණ අධ්‍යාපන අවස්ථා වැනි මිනිස් අවශ්‍යතා සපුරාලීමද ජාතික සමගිය සදහා වැදගත් වන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

එමගින් සියළු පුරවැසියන්ට ගෞරවාන්විත ජීවිතයක් ලබාදිය යුතු බවයි ජනාධිපතිවරයා පැවසුවේ. එසේ නොමැතිව ජාතික සමගිය ඇති කිරීම සදහා ෆෙඩරල් මාදිලියේ බලය බෙදීමක් සිදුකළ යුතු බවට හෝ එවැනි වෙනත් දේශපාලන විසදුමකින් ජාතික සමගිය ඇති කළ හැකි බවට කෙරෙන ප්‍රකාශ හුදෙක් ජනතාව මුලා කිරීමක් පමණක් බවද ජනාධිපතිවරයා පැවසුවා. 

අමෙරිකාව සමග අත්සන් කිරීමට නියමිතව තිබූ එම් සී සී ගිවිසුම පිළිබදව මෙහිදී ප්‍රශ්න කෙරුණු අතර ජනාධිපතිවරයා පැවසුවේ එම ගිවිසුම පිළිබද අධ්‍යයනය කිරීමට කමිටුවක් පත් කරන බවයි. එලෙස පත් කෙරෙන කමිටුව විසින් එම් සී සී ගිවිසුමේ ඇති යහපත් හා අයහපත් බලපෑම් පිළිබද අධ්‍යයනය කර වාර්තා කරනු ඇතැයිද ජනාධිපතිවරයා පැවසුවා.

රටට සුදුසු පාර්ලිමේන්තුවක් තෝරා ගැනීම සදහා ඉදිරියේදී මහ මැතිවරණය පැවැත්වීමටද කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. කල්ගිය පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉන් අනතුරුව කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසුවා.