Friday, May 17, 2024

General line - 0115112241

පාන් රුපියල් 50ට - තිරිගු පිටි ඒකාධිකාරිය බිඳින්න ආනයනකරුවන් කිහිපදෙනෙක් සැරසේ




රජය ලබාදුන් බදු සහනය යටතේ තිරිගු පිටි ආනයනය කෙරුණහොත් පාන් මිල රුපියල් 50 ක් පමණ දක්වා අඩු කිරීමට හැකි වනු ඇතැයි බේකරි හිමියන් පවසනවා.

තිරිගු පිටි ආනයනයේදී අය කෙරුණු කිලෝග‍්‍රෑම් එකකට රුපියල් 36 ක් වූ බද්ද කිලෝග‍්‍රෑම් එකකට රුපියල් 8 ක් දක්වා අඩු කිරීමටයි රජය කටයුතු කර තිබෙන්නේ. තිරිගු ඇට ආනයනය කර ශී‍්‍ර ලංකාවේදී පිටි නිපදවා බෙදා හරින පී‍්‍රමා සහ සෙරන්ඩිබ් යන සමාගම්වල ඒකාධිකාරය මෙමගින් බිද වැටෙනු ඇතැයි ද බේකරි හිමියන් පවසනවා.

ඒ අනුව වෙනත් ආනයනකරුවන් විසින් තිරිගු පිටි ආනයනය කර අඩු මිලට අළෙවි කරනු ඇති බවටයි ඔවුන් විශ්වාසය පළ කරන්නේ. එවිට පාන් මිලද අඩුකළ හැකි බව බේකරි හිමියන් පෙන්වා දුන්නා. 

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මේ බව සඳහන් කළා.

තිරිගු පිටි මේ වනවිට වෙළද පොලේ අළෙවි වන්නේ කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 90 ත් 110 ත් අතර මිලකටයි.  එහෙත් රජය ලබාදුන් බදු සහන යටතේ තිරිගු පිටි ආනයනය කෙරුණහොත් කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 70 ත් 75 ත් අතර මිලකට අළෙවි කෙරෙනු ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් කිහිප දෙනෙකුගෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ තිරිගු පිටි ආනයනය සඳහා මේ වනවිටත් කරුණු අධ්‍යයනය කරමින් සිටින බවයි. ඒ අනුව ලෝක වෙළද පොලේ තිරිගු පිටි මිල පිළිබද තොරතුරු රැස් කරන බවද ඔවුන් පැවසුවා.

තිරිගු පිටි ආනයනය කිරීමට සුදුසුම රටවල් ලෙස තුර්කිය, ඩුබායි සහ බල්ගේරියාව කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. කෙසේවෙතත් ඇණවුම් කිරීමෙන් පසු තොග ශී‍්‍ර ලංකාවට පැමිණීමට සති 3 ක් පමණ ගතවන බවද ඒ අනුව මෙම අවස්ථාවේම ඇණවුම් කළත් අදාළ තිරිගු පිටි තොග ශී‍්‍ර ලංකාවට පැමිණෙනු ඇත්තේ ලබන වසරේ ජනවාරි මුල් සතියේ පමණ බවද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන් පැවසුවා.