Friday, May 17, 2024

General line - 0115112241

ජනපතිගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්න සහය දෙනවා : ඉදිරි මහ මැතිවරණයේදී සිදුකරන දේ ගැනත් සජිත් හෙළිදරව් කරයි




ඉදිරි මහ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් පුළුල් සන්ධානයකට නායකත්වය ලබාදීමට තමන් සුදානම් බව හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටිනවා. " ගමින් ගමට ජනතාව මුණ ගැසීම" නම් පළමු වැඩසටහනට එක්වෙමින් හිටපු ඇමතිවරයා මේ බව කියා සිටියේ කොලොන්නාව ප්‍රදේශයේදී අද (17) පැවති රැස්වීමකට එක්වෙමින්.

පසුගිය ජනාධිපතිවරණයේදී ලක්ෂ 69ක් ජනතාව අනුමත කළ ජයග්‍රාහි පාර්ශවය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති යෝජනාවලිය ඉටු කරලීම සඳහා විපක්ෂයක් ලෙස සිය උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන බව මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙසේ කියා සිටියා,

" ජනාධිපතිවරණයේදී අපි පසුබෑමකට ලක්වුනා. විවිධාකාර මත සම්බන්ධයෙන් අදහස් පළවන මේ මොහොතේ ඒ සම්බන්ධයෙන් වන වගකීම මා භාර ගන්නවා. ජයග්‍රහණයකදී එය භාර ගැනීමට කොතෙක් අය සිටියත් පරාජයක් අවස්ථාවේදී එය භාර ගැනීමට කවුරුත් නැහැ. සන්ධානයක් ලෙසට එක්ව මමයි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වුනේ. 

ජනාධිපතිවරණයේදී ලද පරාජයේ වගකීම මම භාර ගන්නවා. ඒ වගේමයි මම ජනාධිපතිවරණ අපේක්ෂකයා වූ සැනින්ම මම මගේ පක්ෂයේ නියෝජ්‍ය නායක කමෙන් ඉවත්වුණා. මම කවදාවත් පාක්ෂිකයින්ව අත්හරින්නේ නැහැ. ඒ වගේමයි පක්ෂය සහ අපේ සන්ධානය කිසිදාක අත්හරින්නේ නැහැ කියා කියන්න කැමති.

ඉදිරි මහ මැතිවරණයේදී පුළුල් සන්ධානයකින් ඉදිරිපත්වීමට සහ එයට නායකත්වය ලබාදීමට මම සුදානම්. මම කිසිම අවස්ථාවක තනතුරු කේන්ද්‍ර කරගෙන අපි අපේ දේශපාලනය කරන්නේ නැහැ. තනතුරු බොහොම තාවකාලිකයි. තනතුරු පදනම කරගත් දේශපාලනයට පැවැත්මක් නැහැ. තිබිය යුතු උසස්ම තනතුර තමයි ජනතාවගේ ප්‍රසාදය. මම මේ මොහොතේදී කියන්න කැමැති කිසිම අවස්ථාවක තනතුරු නිසා භේදවෙන්න හෝ පක්ෂය දෙකඩ වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියා කියන්න මම කැමති.

ඒ සියලු පීඩනයන් දරාගෙන ජනතාව ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න අපි සුදානම්. පශ්චාත් මැතිවරණ සමයේදී හිංසනයට පත්වූ ජනතාව වෙනුවෙන් අපි සටන් කරනවා. දේශපාලන පළිගැනීම් වලට ලක්වූ සියලු දෙනාගේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා කටයුතු කරනවා වගේම ඔවුන්ට ඒ සඳහා සහන ලබාදීමට කටයුතු කරනවා. 

ජයග්‍රහණය කිරීම උදෙසා අපි සියලු දෙනා කණ්ඩායමක් ලෙස නවීකරණයකට ලක්වෙන්න ඕන. නව ප්‍රතිපත්ති මාලාවක් දර්ශනයක් තුලින් මේ රට සෞභාග්‍ය කරා රැගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ හරහා ඉදිරි මැතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් කරා යාමට අඩිතාලමක් දැමිය යුතුයි.

විපක්ෂයක් ලෙස අපේ භූමිකාව ශක්තිමත්ව ක්‍රියාශීලිව ඉටු කිරීමට සුදානම්. රටට සුභදායි යෝජනා වෙනුවෙන් ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අපි අපේ සහය ලබාදෙනවා. ජයග්‍රාහි පාර්ශවය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාව මේ රටේ බහුතර ජනතාව අනුමත කළා. ඒ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාවට නංවන්න අපි අපේ සහය ලබා දෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව වහාම රැස්කරලා ඒ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාවට නංවන්න අවශ්‍ය සියලු නීතිමය අවශ්‍යතාවයන් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම සඳහා අපි අවශ්‍ය සහය ලබාදෙනවා.

ඒ වගේම ජයග්‍රහණයට මුවාවී වැරදි දේ සිදුකරනවා නම් එය නතර කිරීමට අපි විපක්ෂයක් ලෙස ක්‍රියා කරනවා.

මැතිවරණයෙන් ලද පරාජයන් පසුව බොහෝ දෙනා පසුබෑමට ලක්වෙනවා. නමුත් අද ඔබලා ඉදිරි මැතිවරණය ජයග්‍රහණය වෙනුවෙන් උද්යෝගයෙන් පසුවනවා. එය අපිට ශක්තියක්. තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමේ කාලය එළඹ ඇති බව ජන්ද දායකයින් පවසනවානම් තමන් ජන්ද දායකයින්ගේ ඉල්ලීමට ඉටු කිරීමට නොපැකිලෙන බව හිටපු ඇමතිවරයා කියා සිටියා.

මේ වන විට මඩගැසීමේ ව්‍යාපාරයන් ක්‍රියාත්මක කරන පුද්ගලයින් ඒ සඳහා වැයකළ කාලය ජනාධිපතිවරණ සමයේදී වැයකළා නම් මිට වඩා ප්‍රතිපලයක් ලබාගත හැකිව තිබු බව" හිටපු ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.