Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ කීර්ති නාමය අවධානමක - ස්විට්සර්ලන්තයෙන් නිවේදනයක්




රක්ෂිත බන්ධනාගාර ගත කළ මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමගින් ඔවුන් ඉල්ලා ඇත්තේ සිදු කරන පරීක්ෂණ හා අධිකරණ ක්‍රියාවලියේදී සිය සේවිකාව සම්බන්ධයෙන් මෙරට නීතිය හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පුද්ගල අයිතිවාසිකම් වඩා හොඳින් ආරක්ෂා කිරීම සහතික කරන ලෙසයි. කෙසේ වෙතත් ඉදිරි විමර්ශන කටයුතු සදහා හැකිතාක් දුරට සහය ලබාදීමට කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පියවර ගන්නා බවද එම නිවේදනයේ සඳහන්.

සෞඛ්‍ය තත්වය දුර්වල වුවද ඇයගෙන් දින 3 ක් පුරා පැය 30 කාලයක් ප්‍රශ්න කර තිබෙනවා. එමෙන්ම විමර්ශන අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවේ රජයේ නිලධාරීන් ඇයගේ ගිණුම පිළිබඳව ප්‍රශ්න කර ඇති බවයි ස්විට්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එමගින් ඔවුන් අවධාරණය කර ඇත්තේ නීතියේ ආධිපත්‍යය පිළිගන්නා රටක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්ති නාමය අවදානමට ලක්ව ඇති බවයි. 

අසත්‍ය ප්‍රකාශ ලබා දුන් බවට චෝදනා කරමින් ස්විටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය රඳවා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් පසු වන බවද එහි සඳහන්.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මෙරට නීතියට හා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව අදාළ නිලධාරිනියගේ පුද්ගලික අයිතිවාසිකම් ආරක්ෂා කිරිම හා සහතික කිරිම මෙරට අධිකරණය සතු වගකිමක් බවද ස්විට්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා. අදාළ නිලධාරිනිය වෙනුවෙන් තමන් දිගටම පෙනී සිටින බවත් ඇය වෙනුවෙන් කළ හැකි උපරිමය සිදු කිරීමට කැපවී සිටින බවත් ඔවුන් අවධාරණය කරනවා. මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා මධ්‍යස්ථ හා ඵලදායි මාර්ගයක් අපේක්ෂා කරන බවද එහි සඳහන්.

ශ්‍රී ලංකාවේ ස්විට්ස්ටර්ලන්ත තානාපතිවරයා, ඊයේ දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමූවී සිය නිලධාරිනිය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තු වැඩිදුරටත් පවසනවා.