Friday, May 17, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයක අපේක්ෂකයින් සීමා කිරීමේ නව නීති කෙරෙහි රජයේ අවධානය




ජනාධිපති මැතිවරණ පනත සංශෝධනය කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා. ඒ, අපේක්ෂකයින් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වීම හරහා ඉකුත් ජනාධිපතිවරණයේදී මතු වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

එහිදී ජනාධිපතිවරණය වෙනුවෙන් රජයට දැවැන්ත වැය බරක් දැරීමටද සිදු වුණා. කෙසේවෙතත් මැතිවරණයට ඉදිරිපත් වූ බහුතර අපේක්ෂකයින්ට සියයට 0.1ක්වත් ලබා ගැනීමට හැකිවුයේ නැහැ.

මෙම තත්ත්වයද සැලකිල්ලට ගනිමින් ජනාධිපති මැතිවරණ පනත සංශෝධනය කිරීමටයි ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත්තේ.

ඒ අනුව ජනාධිපතිවරණ මැතිවරණ නීතිය කුමන ආකාරයකින් සංශෝධනය විය යුතුද යන්න පිළිබඳ සොයා බැලීමට නීතිපති දෙපාර්තමේන්තුව, මැතිවරණ කොමිසම හා අධිකරණ අමාත්‍යංශයේ නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක්ද පත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණයට අනවශ්‍ය ලෙස අපේක්ෂකයින් ඉදිරිපත් වීම වැළැක්වීමටත් ඇප මුදල් ඉහළ නැංවීමටත් ඉදිරියේදී නව නීති හඳුන්වාදෙනු ඇති.

මීට අමතරව පළාත් පාලන ඡන්දය පැවැත්වීම සදහා දැනට පවතින නීතිමය බාධා ඉවත්කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමුව ඇතැයි සඳහන්. ඒ සඳහා සුදුසු සංශෝධනයන් පිළිබඳ සාකච්ඡා කර කඩිනම් විසදුමක් යෝජනා කරන ලෙසයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අදාල කමිටුවට දන්වා ඇත්තේ.