Friday, May 17, 2024

General line - 0115112241

දෙදරු මව පිහි ඇණුමට ලක් වූ සිද්ධියේ පොලිසියේ 02 ගේ වැඩ තහනම්




කෑගල්ල ප‍්‍රදේශයේ දෙදරු මවක් සිය ස්වාමියාගේ පිහිපහරට ලක් විමෙන් ඊයේ (17) මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ කෑගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඇතුලු වන ගේට්ටුවේ පුද්ගලයන් පරීක්‍ෂාවට යොදවා ඇති පොලිස් සැරයන්වරුන් දෙදෙනායි. 

අධිකරණයට ඇතුලු වන අය නිසි ලෙස පරික්ෂාවට ලක් කර නොමැති බවට පරික්ෂණවලින් සනාථ වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ කෑගල්ල මූලස්ථාන පොලිසියට අනුයුත්තව සේවය කළ නිලධාරින් දෙදෙනෙකුගේයි. 

අධිකරණය අසලදී සිදුවූ මෙම පිහි ඇනුමෙන් 36 හැවිරිදි කාන්තාවක් ජීවිතක්‍ෂයට පත් වුණා. ඒ, කෑගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩත්තු නඩුවක් වෙනුවෙන් මුදල් ලබා ගැනිමට ඇය පැමිණි අවස්ථාවේදීයි.

අධිකරණ ශාලාවට ඇතුලු වන දොරටුව අසලදී සිදුවූ මෙම පිහිඇනුමෙන් බරපතල තුවාල ලැබූ මෙම කාන්තාව රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත් වුණා. පිහි ඇනුම සිදුකර ඇති ඇගේ ස්වාමි පුරුෂයා හිටපු හමුදා සෙබළෙක්.