Wednesday, May 15, 2024

General line - 0115112241

වසා දමා ඇති වුහාන් නගරයෙන් අමෙරිකානුවන් 240ක් රැගෙන යයි 




නව කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයේ වුහාන් නගරයේ සිටි අමෙරිකානු ජාතිකයින් 240 දෙනෙක් රැගත් විශේෂ ගුවන් යානයක් අමෙරිකාවේ ඇලෙස්කා ප්‍රාන්තයට ගොඩබස්වා තිබෙනවා. මෙම ගුවන් යානය කුලී පදනම මත ලබාගත් එකක් බවයි වාර්තා වන්නේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමග චීන බලධාරීන් විසින් පසුගිය බ්‍රහස්පතින්දා සිට වුහාන් නගරය වසා දමනු ලැබුවා.

මෙම ගුවන් යානයේ අමෙරිකානු තානාපති නිලධාරීන්, ව්‍යාපාරිකයින් ද සිටින අතර මේ වන විට ඔවුන්ව විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති බවයි නිව්යෝර්ක් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර සිටියේ.

" මෙම ගුවන් යානයේ සිටින මගින්ව අමෙරිකානු වසංගත රෝග විද්‍යා පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් විශේෂ පරික්ෂාවකට ලක් කිරීමට නියමිතව තිබෙනවා. ඉන් පසුව මෙම ගුවන් යානය යලි කැලිෆෝනියාව බලා පිටත්වීම සිදුකරනු ලබන්නේ ඉන් පසුවයි" ඇලෙස්කා ප්‍රාන්තයේ පිහිටි Anchorage ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කළමනාකරු ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් චීනය සමග සියලු ගුවන් සම්බන්ධකම් නතර කිරීමට බ්‍රිටිෂ් එයාර් වේස් ගුවන් සමාගම අද තීරණය කරනු ලැබුවා.