Tuesday, May 14, 2024

General line - 0115112241

බෝපත්තලාව කඳු වැටියේ ගින්නක් (PHOTOS)

රංජිත් රාජපක්ෂ




බෝපත්තලාව කදු වැටියේ ගින්නක් හටගෙන ඇති බව බගවන්තලාව පොලිසිය සඳහන් කර සිටිනවා.බෝපත්තලාව රජය ගොවිපලට බටහිර බැවුමේ පිහිටි බෝපත්තලාව කදුවැටියේ බගවන්තලාව ලින්ස්ටඩ් වතු යායට ඉහලින් වූ ප්‍රදේශයේ අද (21) දහවල් 12 ට පමණ ගින්න හටගෙන ඇත.

බගවන්තලාව ප්‍රදේශයේ සිට බෝපත්තලාව රජයේ ගොවිපොල වෙත පිවිසමට ඇති අඩි පාරක්ද මෙම කදුවැටිය හරහා පිහිටා ඇත. එම මාර්ගය ඔස්සේ බෝපත්තලාව රජයේ ගොවිපල දෙසට පිවිස අයෙකු විසින් මෙම ගිනි තැබිම සිදු කරන්නට ඇති බවට බගවන්තලාව පොලිසිය සැකකරයි.

බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර කියා සිටියේ බෝපත්තලාව කදුවැටියේ හටගෙන ඇති ගින්න පාලනය කිරිමට බගවන්තලාව පොලිසියේ නිලධාරින් පිරිසක් මේ වන විට කදුවැටිය වෙත යොමු කර ඇති බවයි.

මේ අතර වටවල ෆයිනස් වගා රක්ෂිතයට ගිනි තැබු සැකකරුවෙක් වටවල පොලිසිය මගින් (20) දින පස්වරුවේ අත්අඩංගුවට ගත් බව වටවල පොලිසිය පැවසිය.

සැකකරු විසින් වන වගා රක්ෂිතයට තැබු ගින්න හේතුවෙන් එම රක්ෂිතයේ විශාල වන වගා කොටසක් ගිනිගෙන විනාශ වි ඇති අතර එම වන වගා රක්ෂිතය හරහා වටවල පොලිසිය වෙත පානිය ජලය ලබා ගත් ජල නලද ගින්නෙන් විනාශ වි ඇති බව වටවල පොලිසිය සඳහන් කර සිටියේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වටවල පොලිසිය සඳහන් කර සිටියේ.