Friday, May 17, 2024

General line - 0115112241

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් CID විමර්ශණය කඩිනම් කිරීම සඳහා කාර්ය සාධක බලකායක්




පුද්ගලයින් 250 කට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත් කළ පසුගිය වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ විමර්ශණ කොට්ඨාශය (සීඅයිඩී) විසින් කරගෙන යනු ලබන විමර්ශණ වල ප්‍රගතිය සොයා බැලීම පිණිස ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා.

සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත කාර්ය සාධක බලකායට විවිධ බුද්ධි අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළත් වන අතර ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් අල්විස් එහි ප්‍රධානත්වය දරනු ලබනවා.

ඒ සම්බන්ධව වාර්ථාවක් සතියකට වරක් ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත ඉදිරිපත් කල යුතු වනවා.   

කොළඹ, මීගමුව හා මඩකලපුල ප්‍රදේශය වල ප්‍රධාන කිතුනු දේවස්තාන හා හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ලවූ ප්‍රහාර පිළිබඳ විමර්ශණ කඩිනම් කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත මෙම කාර්ය සාධක බලකාය පිහිටවූ බවයි මේජර් ජෙනරාල් ගුණරත්න සඳහන් කර සිටියේ.

“පසුගිය පාලන සමයේ මේ සම්බන්ධ අපරාධ විමර්ශණ පලදායී ලෙස සිදු නොවීය. මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණයක් සිදුකිරීමට අප අපොහොසත් වුවහොත් එම බෝම්බ ප්‍රහාරවලින් ජීවිත අහිමි වූ සහ ජීවිතාන්තය දක්වා තුවාල හා වේදනාවන් සමග ජීවත්වන 500 ක් පමණ පුද්ගලයින් හට සාධාරණය ඉටුවන්නේ නැහැ" ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

“ආරක්‍ෂක අමාත්‍යාංශයට අයත් සියලුම බුද්ධි අංශවල දායකත්වය ලබාගෙන ප්‍රහාරයන්ට අදාළ සත්‍ය තොරතුරු හඳුනා ගැනීම, සත්‍ය තොරතුරු රැස් කිරීම සහ නව තොරතුරු හා සාක්ෂි එක්රැස් කිරීම මගින් එම ප්‍රහාරයන්ට අදාල අන්තවාදී පිරිස් නීතිය හමුවට ගෙන එන ලෙස ජනාධිපතිවරයා අපට උපදෙස් ලබාදී තිබෙනවා" ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කර සිටියා.

පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශණය කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරන ලද පස් දෙනෙකුගෙන් යුත් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශණය පිළිබඳව කතෝලික ප්‍රජාව සෑහීමකට පත් නොවන බව පසුගිය සතියේ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් ප්‍රකාශ කර තිබුණි.   

රහස් පොලිසිය පාස්කු ප්‍රහාර විමර්ශණය කරන්නේ දැයි අපි නොදනිමු. පාස්කු ඉරිදා ප්‍රහාරයන් පිළිබඳව ගැඹුරින් විමර්ශනය කළ යුතුය. ප්‍රහාර පිටුපස සිටින පුද්ගලයින්, ඔවුන්ට අරමුදල් සැපයූ අය සහ ඔවුන්ට අනුබල දෙන අය පිළිබඳ සත්‍යය දැනගැනීමට අපට අවශ්‍යයි,” කාදිනල්තුමා පසුගිය සතියේ මාධ්‍යයට පවසා සිටියා.   

නිසි විමර්ශණයක් පිළිබඳ සහතික වෙමින් ආරක්‍ෂක ලේකම්වරයා පවසා සිටියේ මෙම විමර්ශණ සඳහා බුද්ධි අංශ වල සහාය අවශ්‍ය බැවින් නිවැරදි තොරතුරු ලබාගැනීම පිණිස මෙම නව කාර්ය සාධක බලකාය අපරාධ විමර්ශණ කොට්ඨාශය මගින් සිදුකර ගෙන යනු ලබන විමර්ශණ සඳහා තොරතුරු ලබාගැනීමේ මෙහෙවරක් වන බවයි.    

“මෙම කාර්ය සාධක බලකාය පිහිටුවීමේ අපගේ ප්‍රධාන අභිප්‍රාය වනුයේ අනාගතයේදී මහජන ආරක්‍ෂාව සහ ජාතික ආරක්‍ෂාව සහතික කිරීමයි” ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.