Friday, May 17, 2024

General line - 0115112241

රන්ජන්ගේ නඩුව විභාගයට අළුත් විනිසුරුවරයෙක් 

අධිකරණ වාර්තාකරු




රංජන් රාමනායක මන්ත්‍රිවරයා ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරණ පද්ධතියට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර වාචික දේශන මැයි මස 29 දා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) දින නියම කළා. 

කෙසේවෙතත් රංජන් රාමනායක මන්ත්‍රිවරයා වෙනත් නඩුවක් සදහා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බැවින් ඔහු අද ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී නොසිටි අතර මීලඟ දින ඔහු රක්ෂිත බන්ධනාගාරයේ සිටියහොත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝග කරනු ලැබුවා.

මේ අතර මෙම නඩුව විභාග කළ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා මේ වන විට අභාවප්‍රාප්ත වී ඇති බැවින් මෙම නඩුව විමසීමට විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ආදේශ කර තිබුණා. අලුතින් විනිසුරුවරයකු ආදේශ කර ඇති අවස්ථාවකදී නැවත සාක්ෂිකරුවන් කැදවීමේ හැකියාවක් ඇති බැවින් ඒ පිළිබඳ තම සේවාදායකයාගෙන් උපදෙස් ලබා ගෙන අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. සුමන්දිරන් පවසා සිටියා .

අද දින මෙම නඩුව විනිසුරු සිසිර ද ආබෘ මහතා සහ විනිසුරු විජිත් මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියේ කැදවනු ලැබුවා. 

2017 වසරේ අගොස්තු මස 21 දා එවකට නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස රංජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශය තුළින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් වී ඇති බව නීතිපතිවරයා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා .

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ මෙම පෙත්සම් මාගල්කන්දේ සුදන්ත හිමි ඇතුළු පාර්ශවයන් දෙකක් විසින් ගොනු කර තිබෙනවා.