Friday, May 17, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසම ණය උගුලක - රජයටත් චෝදනාවක්




මහ මැතිවරණය පැවැත්වීමට අවම වශයෙන් දින 60 ක පමණ කාලයක් සිය කොමිෂන් සභාවට අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ඔහු මේ බව සදහන් කළේ එම කොමිෂන් සභාවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඉකුත් ජනාධිපතිවරණයේදී රාජකාරී සදහා නිරත වූ ගුරුවරුන්ට මෙතෙක් අදාළ මුදල්ද ලබාදී නොමැති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කියාසිටියේ සිය කොමිෂන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු හිග මුදල්ද මෙතෙක් ගෙවා නොමැති බවයි.

මේ අතර දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් අද පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. ඒ, ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහායි. මෙම සාකච්ඡාව අද පස්වරු 2.30ට ආරම්භ වනවා. 

මැතිවරණ නීති සංශෝධන කටයුතු සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කරනු ඇති. එමෙන්ම වයස අවුරුදු 18 සම්පූර්ණ වනවිටම ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරිමට අවස්ථාව ලබාදීමේ හැකියාව පිළිබදවද මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ පක්‍ෂ ලේකම්වරුන් අතර අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කෙරෙනවා. 

2019 ඡන්ද හිමි නාමලේඛණය සහ 2020 ඡන්ද හිමි නාමලේඛණය ප්‍රතිශෝධනය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.