Friday, May 17, 2024

General line - 0115112241

දකුණු කොරියාවේත් මුඛ ආවරණ මිළදී ගන්න දිගු පෝලිම් - කොරෝනා වෛරසය ලතින් අමෙරිකාවටත්




කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය දකුණු කොරියාවේ ප්‍රදේශ රැසක ව්‍යාප්ත වුවද මෙතෙක් එම වෛරසය එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඇතුළු කිසිදු විදේශිකයෙකුට මෙතෙක් ආසාදනය වී නොමැති බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

මේ වනවිට දකුණු කොරියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. කෙරෝනා වෛරසය හේතුවෙන් දකුණු කොරියාවේ පවතින වත්මන් තත්ත්වය පිළිබද එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකියා සහ සුබසාධක උපදේශක සෙනරත් යාපා නෙත් නිවුස් වෙත මෙලෙස විස්තර කළා.

නව කෙරෝනා වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් දකුණු කොරියාවේ සුපිරි වෙළදසැල් ආශ්‍රිතව මුඛ ආවරණ මිලදී ගැනීම සදහා දිගු පෝළිම්ද දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දකුණු කොරියාවේ සෝල්, තේගු, ක්යාන්බුක් සහ බූසාන් යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.  

මේ අතර කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් ඉතාලියේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වනවිට ඉතාලියෙන් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 323 ක්. 
ඉතාලියේ  මිලානෝ ඇතුළු ප්‍රදේශ කිහිපයක ශ්‍රී ලාංකිකයින් රැසක්ද වෙසෙනවා. එරට  පවතින නවතම තත්ත්වය පිළිබද ඉතාලියේ සිට නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ගයාන් පෙරේරා.

මේ වනවිට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් ආරක්‍ෂිත බවත් ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකර ගත යුතු නැතැයිද ඔහු මෙහිදී සදහන් කළා. කෙසේවෙතත් ඉතාලියේ ප්‍රදේශ කිහිපයක් කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිටත් වසා දමා තිබෙනවා. මේ හේතුවෙන් අනෙක් ප්‍රදේශවල සිටින ජනතාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අසීමිත ලෙස එක් රැස් කිරීම හේතුවෙන් එම ප්‍රදේශවල සුපිරි වෙළද සැල් ආශ්‍රිතව දිගු පෝලිම්ද දක්නට තිබූ බවයි ඉතාලියේ සිට නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ගයාන් පෙරේරා.

මේ අතර කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය තවත් යුරෝපා රටවල් කිහිපයකට ව්‍යප්ත වී තිබෙනවා. ඔස්ටි්‍රයාව, ක්‍රොඒෂියාව සහ ස්විට්සර්ලන්තය යන රටවලින් කොරෝනා ආසාදිතයින් හමුවී ඇති බවයි බී බී සී ලෝක සේවය සදහන් කළේ. 

මේ අතර පළමු වරට ලතින් අමෙරිකාවෙන්ද නව කොරෝනා ආසාදිතයෙකු ද හමුවී තිබෙනවා. ඉතාලියේ සිට පැමිණි බ්‍රසීලයේ පදිංචි පුද්ගලයෙකුට මෙලෙස නව කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ වනවිට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 2,764 ක්. 

ඒ අතරින් බොහොමයක් මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ. නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 80,997 ක්. චීනයේ පමණක් ඊයේ දිනයේ නව කොරෝනා මරණ 52 ක් වාර්තා වී තිබෙනවා.