Monday, May 6, 2024

General line - 0115112241

ජර්මනියේ මිලියන 58 කට කොරෝනා වැළදීමේ අවධානමක් : ජර්මානු චාන්සලර්වරිය කියයි : එක්සත් ජාතීන්ගේ නිව් යෝර්ක් කාර්යාලයත් වසා දමයි




ජර්මනියේ මිලියන 82ක් වන මුළු ජන ගහණයෙන් සීයයට 60-70 ක පිරිසකට කෝවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය වැලදෙනු ඇති බව චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් අද අනතුරු ඇඟවා සිටියා.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම සමග අද පැවති සාකච්ජාවකදී ජර්මානු චාන්සලර්වරිය මේ සම්බන්ධයෙන් අද ප්‍රකාශ කර සිටිය බවයි ජර්මානු පුවත් පතක් වාර්තා කර සිටියේ.

කොරෝනා වෛරසයට ඉක්මන් ප්‍රතිකාරයක් සොයා ගැනීමට නොහැකිවුව හොත් යුරෝපයට ඉන් විශාල බලපෑමක් එල්ලවිය හැකි බවත් ජර්මානු චාන්සලර්වරිය කියූ ආකාරයෙන් එරට ජනගහණයෙන් මිලියන 58කට වෛරසය වැලදෙණු ඇති බව සෞඛ්‍ය ඇමති ජෙන්ස් ස්පාන් තහවුරු කර සිටියා.

මේ වන විට කොරෝනා වෛරසය යුරෝපයේ රටවල් 27ක පැතිර තිබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සනාථ කර සිටියේ.

යුරෝපයේ පමණක් මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගීන් 18,000 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 715ක් වාර්තා වී ඇත.

ඉතාලියේ සමස්තයක් ලෙස වෛරසය නිසා ඇති වූ COVID-19 රෝගයෙන් පුද්ගලයින් 631 ක් මියගොස් ඇති අතර සති දෙකක් තුළ 10,149 ක් ආසාදනය වී ඇති බවයි එරට සෞඛ්‍ය බලධාරින් සඳහන් කර සිටියේ.

මේ අතර අමෙරිකාවේ නිව් යෝර්ක් හි පිහිටි එක්සත් ජාතින්ගේ කාර්යාල පරිශ්‍රය මහජනතාව සඳහා යලි දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේ නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුව ඇති බවයි.

නිව් යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ කිසිදු සේවකයෙක්ට මේ දක්වා කොරෝනා වෛරසය වැලදී ඇති බවට වාර්තා වන්නේ නැහැ.

සාමාන්‍ය ජනතාවට නිව් යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සිදු කරනු ලබන සංචාරයන් නතර කිරිමටද එම කාර්ය මණ්ඩලය තීරණය කර ඇත.