Wednesday, May 15, 2024

General line - 0115112241

කොරෝනා රෝගය සඟවා ගෙන ආ පුද්ගලයින් දෙදෙනාට රටේ දැඩි විරෝධයක් (PHOTOS)




ඉතාලියේ සිට ලංකාවට පැමිණ නිරෝධාන ක්‍රියාවලියට සහය නොදී ඊට විරෝධය පළ කළ පුද්ගලයින් දෙදෙනාටද කොරෝනා වෛරසය වැලදී ඇති බවට වාර්තා වනවා. එම පුද්ගලයින් දෙදෙනාගේ ආත්මාර්ථකාමී ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් මේ වන විට සමාජය පුරා ඇතිව තිබෙන්නේ දැඩි විරෝධයක්.

මෙම පුද්ගලයින් දෙදෙනා ඉතාලියේ සිට පැමිණීමේදීම කොරෝනා වෛරසයට ගොදුරුව සිට ඇති බවත් ඔවුන් ඒ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු වසන් කිරීම නිසා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය දක්වා ඔවුන් රැගෙන ගිය අනෙක් පුද්ගලයින් 16 දෙනාගේ ජීවිතද මේ වන විට අවධානමකට ලක්ව තිබෙනවා.

මෙම පුද්ගලයින් දෙදෙනාට කොරෝනා වෛරසය වැළදී ඇති බවට ප්‍රකාශ නොකිරීම සහ පැරසිටමෝල් වැනි වේදනාශක බෙහෙත් පානය කිරීමෙන් රෝගය යටපත් කොට පැමිණීම හේතුවෙන් ඔවුන්ගේ රෝගී තත්ත්වයක් ගුවන් තොටුපලේදී පෙන්නුම් නොකළ බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටින්නේ.

තමන්ට රෝගීභාවයක් ඇති බව දැන දැනම ඒ සම්බන්ධයෙන් ගුවන් තොටුපළ සෞඛ්‍ය බලධාරීන්ට දැනුවත් නොකිරීම සහ සෙසු පුද්ගලයින්ගේ ජිවිත අවධානමකට හෙලීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට එරෙහිව නිතිමය ක්‍රියා මාර්ග ගත යුතු බවයි සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකරමින් බොහෝ දෙනා සඳහන් කර සිටියේ.

මේ අතර රෝග නිරෝධායන ක්‍රියාවලියට බලපෑම් කරන පුද්ගලයින් වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටිනවා. ඒ, රෝග බෝ වීම හෝ පැතිරවීමට තුඩු දෙන ද්වේෂ සහගත ක්‍රියා සිදුකිරීම, රෝග නිරෝධායනයට බලපෑම් කිරීම මෙන්ම ජීවිත වලට අන්තරාදායක රෝගයක් පැතිරවීමට දායක වීම යන චෝදනා යටතේයි.

රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥා පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පවතින විධි විධාන වලට අනූකූලව එවැනි පුද්ගලයින්ට එරෙහිව ක්‍රියා කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටියේ.