Wednesday, May 15, 2024

General line - 0115112241

පැතිර යන කොරෝනා කතාවට ඇමති දිනේෂ් උත්තර දෙයි




විදේශ සබඳතා අමාත්‍යංශයේ නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයෙකුට කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

මේ අතර විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.

එහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ "මට කිසිම කොරෝනාවක් නෑ. මම ජිනීවා ගිහිල්ලා ඇවිල්ලා දැන් දවස් 15ක් වෙනවා." යනුවෙනි.

මේ අතර රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (14) රාති‍්‍රයේ නිවේදනය කළේ නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 10 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි. 

ඊයේ දිනය තුළ පමණක් නව කොරෝනා ආසාදිත බවට තහවුරු කරගත් රෝගීන් ගණන 05 දෙනෙක්. 17 වන වියේ පසුවන තරුණියක් ද, 56 වන වියේ පසු වන කාන්තාවක් ද ඒ අතර වුණා. 17 වන වියේ පසුවන තරුණිය, නව කොරෝනා ආසාදිත බවට මීට පෙර තහවුරු වූ අයෙකුගේ ඥාති දියණියක්.  

56 වන වියේ පසුවන කාන්තාව ඉතාලියේ සිට ඉකුත් 07 වැනදා ශී‍්‍ර ලංකාවට පැමිණ ඇති අතර මේ වනවිට එම කාන්තාව ප‍්‍රතිකාර ලබන්නේ IDH උණ රෝහලේයි. 

නව කොරෝනා ආසාදිත බවට අද තහවුරු කරගත් අනෙක් පුද්ගලයින් තුන්දෙනාගෙන් දෙදෙනෙකු ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්ව සිටි අය වනවා. සෙසු පුද්ගලයා ද ඉතාලියේ සිට පැමිණි නාත්තණ්ඩිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.  

මේ අතර නව කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවූවෙකු ද ඊයේ (14) රෝහල්ගත කෙරුණා. පළමුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු ඔහු පසුව IDH උණ රෝහලට මාරු කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ශී‍්‍ර ලංකාවේ සංචාරය කර ආපසු පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ පෝලන්ත ජාතිකයන් 04 දෙනෙකු ද නව කොරෝනා ආසාදිත බවට සැකපිට ප‍්‍රතිකාර සඳහා යොමු කෙරුණා. ඔවුන් ඇතුළත් කර සිටින්නේ IDH උණ රෝහලටයි.