Monday, May 20, 2024

General line - 0115112241

විදුලි බිල්, අන්තර්ජාල බිල් සඳහා සහන කාලයක් - බේකරි නිෂ්පාදනත් නිවසටම




ඇඳිරි නීතිය පනවා ඇති වේලාවේදී බේකරි නිෂ්පාදන රැගෙන යාම සඳහා අලෙවිකරුවන්ට අවසර ලබා දෙන බව පොලිසිය පවසනවා. 

මීට අමතරව අත්‍යාවශ්‍ය ඖෂධ, දෛනික පුවත්පත් සහ කෘෂි ආහාර ද්‍රව්‍ය ද ප‍්‍රවාහනයට අවසර ලබා දෙන බවයි පොලිසිය සඳහන් කළේ. වැඩබලන පොලිස්පති සී ඞී වික‍්‍රමරත්න අදාළ පොලිස් ස්ථාන වෙත මේ පිළිබඳ නියෝග කර තිබෙනවා. 

මේ අතර, සිය පසුගෙවුම් පාරිභෝගියකයින් සඳහා බිල්පත් ගෙවීමට සහන කාලයක් සලසා දෙන ලෙස සියලූම ජංගම දුරකථන, සෘජු දුරකථන සහ කේබල් ටීවී සේවා සපයන ආයතන වෙත ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව උපදෙස් ලබා දී තිබෙනවා. 

අදාළ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසටයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ. පෙරගෙවුම් පාරිභෝගිකයින් සඳහා හදිසි ක්‍රෙඩිට් පහසුකමක් සහ අමතර කතා කාලයක් ලබා දීමේ යාන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක කරන ලෙසට ද උපදෙස් ලබා දුන් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්  ඕෂධ සේනානායක පැවසුවා. 

මේ අතර, රජයේ විශ්ව විද්‍යාලවල ඊ - ඉගෙනුම් ක‍්‍රමය යටතේ ලියාපදිංචි වී ඇති සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබා දෙන ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දී ඇත්තේ. 

මේ අතර, හිඟ විදුලි බිල්පත් ගෙවීමට ලබාදුන් කාලයද දීර්ඝ කර තිබෙනවා. විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර කියාසිටියේ එම කාලය මේ මස අවසානය තෙක් දීර්ඝ කළ බවයි. 

එමෙන්ම කිසිදු අවස්ථාවක විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවද අමාත්‍යවරයා සදහන් කළා.