Wednesday, May 15, 2024

General line - 0115112241

ඉන්දියාව සම්පූර්ණයෙන් වසා දැමේ




කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඊයේ (24) මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි ඉන්දියාව සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. අද (25) සිට ඉදිරි දින 21 ක කාලය තුලදී ඉන්දියාව මෙලෙස වසා දැමුණු අතර ඉන්දීය වැසියන්ට සිය නිවෙස්වලින් පිටතට පැමිණීම සම්පූර්ණයෙන් තහනම් වන බවයි එරට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය අමතා ප‍්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ.

ඉන්දියාව සහ එහි වෙසෙන සියලූ පුරවැසියන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව නරේන්ද්‍ර මෝදි කියා සිටියා. මෙම දින 21 නිසි අයුරින් ගත කිරීමට නොහැකි වුවහොත් ඉන්දියාව තවත් වසර 21 ක් ආපස්සට යනු ඇති බවයි නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් සඳහන් කළේ.

කිසිදු පුරවැසියෙකුට කලබල වීමට අවශ්‍ය නොවන බව ද, සෞඛ්‍ය යටිතල පහසුකම් සඳහා රජය මගින් ඉන්දීය රුපියල් කෝටි 15,000 කට ප‍්‍රතිපාදන වෙන් කර ඇති බව ද ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියා.

ලොව දෙවන වැඩිම ජනගහනයක් වෙසෙන රාජ්‍යය වන ඉන්දියාවෙන් මේ වනවිට නව කොරෝනා ආසාදිතයින් 536 දෙදෙනෙකු වාර්තා වනවා. සිදුව ඇති මරණ ගණන 10 ක්. 

මේ අතර ලොව පුරා සිදුව ඇති කොරෝනා මරණ ගණන 18,810 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදනයවූවන්ගේ සංඛ්‍යාව ද හාරලක්ෂ 21, 413 ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ. 

ගත වූ පැය 24 ක කාලය තුළ පමණක් ඉතාලියෙන් වාර්තා වූ නව කොරෝනා මරණ සංඛ්‍යාව 743 ක්.

ගතවූ පැය 24දී ස්පාඥ්ඥයෙන් කොරෝනා මරණ 497ක් වාර්තා වී තිබෙනවා.

ප‍්‍රංශයෙන් මරණ 240ක්, අමෙරිකාවෙන් 136ක් සහ බි‍්‍රතාන්‍යයෙන් මරණ 87ක් ගතවූ පැය 24දී  වාර්තාවන බවයි නවතම දත්තවල දැක්වෙන්නේ.