Friday, May 17, 2024

General line - 0115112241

සතොස හරහා අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසට ගෙනත් දෙන ක්‍රියාවලිය පැහැදිළි කරයි




සිය වෙළඳ මධ්‍යස්ථානවල තිබෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ pick me ප‍්‍රවාහන සේවාව හරහා නිවෙස් වෙත ලබා දීමේ වැඩපිළිවෙලක් ලංකා සතොස විසින් ආරම්භ කර තිබෙනවා. pick me යෙදවුම හරහා ඔබට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ එහිදී මිලදීගත හැකි බවයි ලංකා සතොස සභාපති නුෂාඞ් පෙරේරා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මේ අතර, පෞද්ගලික සුපිරි වෙළඳසැල් ද මේ වනවිට නිවෙස් වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම සඳහා සිය ප‍්‍රධානීන් සමග මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු ඉදිරියේදී කි‍්‍රයාත්මක වනු ඇති බවයි වාර්තා වන්නේ. 

මේ අතර දිස්ති‍්‍රක්ක රැසක ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම දිස්ති‍්‍රක් ලේකම් කාර්යයාල මට්ටමින් ආරම්භ කර තිබෙනවා.  

ඒ අනුව ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ගාල්ල දිස්ති‍්‍රක්කයේ පීඩාවට පත්ව සිටින ජනතාව සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහනක් ගාල්ල දිස්ති‍්‍රක් ලේකම් කාර්යයාලය විසින් සිදු කර ඇති බවයි ගාල්ල දිස්ති‍්‍රක් ලේකම් සෝමරත්න විදානපතිරණ නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ. 

මේ අතර පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීමේ වැඩසටහන් රැසක් දිවයින පුරා කි‍්‍රයාත්මකයි. සිය ප‍්‍රදේශවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීමේ වැඩපිළිවෙලක් මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප‍්‍රනාන්දු ද පැවසුවේ.

වැලිගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යයාලය විසින් ද සිය ප‍්‍රදේශයේ ජනතාවට නිවෙස්වලටම ගොස් එළවලූ ලබා දීමේ වැඩපිළිවෙලක් අද (25) ආරම්භ කර තිබුණා.

දිවයිනේ ප‍්‍රදේශ රැසක අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩපිළිවෙලක් ප‍්‍රදේශ කිහිපයක විවිධ සේවා සමූපකාර සමිති විසින් ආරම්භ කර තිබෙනවා.  

මේ අතර ඔන්ලයින් වෙළඳාම හරහා අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙනවිත් භාර දෙන ඇතැම් ආයතන අධික මුදලට එම භාණ්ඩ අලෙවි කරන බවට ද තොරතුරු වාර්තා වනවා. එවැනි ආයතන පිළිබඳව රජයේ බලධාරීන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි නෙත් නිවුස් ඇමතූ ශ‍්‍රාවකයෙකු කියා සිටියේ.