Friday, May 17, 2024

General line - 0115112241

මේ දක්වා කිසිදු කොරෝනා රෝගීයෙක් වාර්තාවී නැහැ




නව කොරෝනා ආසාදිතයන් කිසිවෙකු අද දිනයේද මේ දක්වාත් ශී‍්‍ර ලංකාවෙන් වාර්තා නොවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පවසනවා. ඊයේ දිනයේද නව කොරෝනා ආසාදිතයන් කිසිවෙකු ශී‍්‍ර ලංකාවෙන් හදුනා ගැණුනේ නැහැ.   

ශී‍්‍ර ලංකාවේ සංචාරයකට පැමිණි චීන ජාතික කාන්තාවක් නව කොරෝනා ආසාදිත බවට ශී‍්‍ර ලංකාවේදී පළමුවෙන් හදුනා ගැනුණා. අනතුරුව ඉකුත් 11 වනදා ශී‍්‍ර ලංකාවේ දෙවන නව කොරෝනා ආසාදිතයා හදුනා ගැණුනු අතර ඔහු සංචාරක මගපෙන්වන්නෙක්. මේ දක්වා ශී‍්‍ර ලංකාවෙන් හදුනාගෙන ඇති මුළු නව කොරෝනා ආසාදිතයන් ගණන 102 දෙනෙකු වනවා.

මේ අතර නව කොරෝනා ආසාදිතව අයි ඞී එච් උණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් 4 දෙනෙකු සුවය ලබා අද පිටව ගිය බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි වැඩිදුරටත් පැවසුවේ. 

නව කොරෝනා පැතිරීම වැළැක්වීම සදහා යුහුසුළුව කටයුතු කරන සියළු පාර්ශවවලට නැවත වරක් ස්තුතිවන්ත විය යුතු බවද අමාත්‍ය පවිත‍්‍රාවන්නිආරච්චි මෙහිදී කියාසිටියා.

විදෙස්ගතව සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලදි නිරෝධායනයට ලක්වූ තවත් 223 දෙනෙකුද අද නිවෙස් බලා පිටත්කර හැරුණා. මෙම පුද්ගලයින් කන්දකාඩු, පූනානි සහ දියතලාව යන නිරෝධායනය මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක් වූ බවයි. 

නිවෙස්වලට ගිය පසුවත් තවත් දින 14 ක කාලයක් නිවෙස්වලදීම ස්වයං නිරෝධායනයට ලක්වන්නැයිද මෙම පුද්ගලයින්ට උපදෙස් ලබාදුන් බව යුද හමුදාව පවසනවා. ඒ පිළිබද පසු විපරමක්ද සිදු කෙරෙනු ඇති.

මේ අතර නිරෝධායන මධ්‍යස්ථානවලදී තවදුරටත් නිරෝධායනයට ලක්ව සිටින්නන්ගේ සංඛ්‍යාව 3,089 දෙනෙක්. නිරෝධායන මධ්‍යස්ථාන 46 ක ඔවුන් රදවනු ලැබ සිටිනවා.