Tuesday, May 14, 2024

General line - 0115112241

පෑනකින් කොරෝනා වෛරසය බෝවෙලා




එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධව ලොව පුරා සේවය කරන එම සංවිධානයේ කාර්යය මණ්ඩල සාමාජිකයින් රැසකට කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. 

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යය මණ්ඩල සාමාජිකයින් 86 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි එම සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා උපුටා දක්වමින් අල්ජසීරා පුවත් සේවය අද වාර්තා කර තිබුණේ. එලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති එක්සත් ජාතීන්ගේ කාර්යය මණ්ඩල සාමාජිකයින්ගෙන් බහුතරයක් යුරෝපානු රටවලට අයත්. එහෙත් එම සංවිධානයට අනුබද්ධව අමෙරිකාව, අපි‍්‍රකාව, ආසියාව මෙන්ම මැදපෙරදිග රටවල සිටින පුද්ගලයින් හට ද මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

මේ අතර පෑනක් නිසා නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් නවසීලන්තයෙන් වාර්තා වුණා. 58 හැවිරිදි මෙම පුද්ගලයා දකුණු දුපතේ වේක්ෆීල්ඞ්හි පදිංචිකරුවෙක්. මිතුරෙකු විසින් අදාළ පුද්ගලයාගේ පෑන රැගෙන ගොස් ඇති අතර තත්ත්පර 30 ක පමණ කාලයකින් අනතුරුව එම පෑන අදාළ පුද්ගලයා විසින් යළි ගෙනැවිත් දී තිබුණා. 


ඉන් දින කිහිපයකට පමණ පසුව නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන් විසින් එම පුද්ගලයා හට දුරකථන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක පළවී ඇති බැවින් වහාම පැමිණ කොරෝනා පරීක්ෂණයක් සඳහා යොමු වන ලෙයසි. ඒ වනවිටත් තමන්ට සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස සහ තවත් රෝග ලක්ෂණ මතුවී තිබූ නමුත් සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් දුරකථන ඇමතුම සරදමක් ලෙස සිතූ බව ද ඔහු පවසනවා.

කෙසේවෙතත්, නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය ලබාදී තිබූ උපදෙස් සියල්ල පිළිපැදි තමන්ට කොරෝනා ආසාදනය වූයේ කොරෝනා ආසාදනය වූ පුද්ගලයෙකු භාවිත කළ පෑනක් නිසා බවයි ඔහු පවසා ඇත්තේ.

මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යපාත්යෙන් ලොව රටවල් රැුසක් වසා දමා ඇති පසුබිමක් තුළ එම වෛරසය ආරම්භ වූ චීනයේ හුබේ පළාතේ වුහාන් නගරය අර්ධ වශයෙන් අද විවෘත කෙරුණා. ඒ, නගරය වසා දමා මාස 02කට පමණ පසුවයි. ඒ අනුව වුහාන් නගරයට ඇතුළුවීමට අනෙකුත් නගර වැසියන්ට අවස්ථාව හිමිවුනත්, වුහාන් නගරයෙන් පිටවීමට කිසිවෙකු හට අවස්ථාව හිමිවන්නේ නැහැ. 

මේ අතර ලොව පුරා රටවලින් මේවනවිට වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් ගණන හය ලක්ෂ 15, 970 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 28,375 ක්.