Sunday, November 24, 2024

General line - 0115112241

රට තුළ COVID-19 පැරදවීමට 'ෆොන්ටේරා' මිලියන ගණනක් වෙන් කරයි




ඇන්කර් සන්නාමය හිමි ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගම මෙරට COVID-19 පැරදවීමේ උත්සාහයන් ශක්තිමත් කිරීමටත්, පවතින තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණපා සිටින ජනතාවට සහන සැලසීමටත් පියවර රාශියක් ගෙන තිබෙනවා.

මෙහි එක් පියවරක් ලෙස, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආරම්භ කරන ලද COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රු. මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කිරීමට ෆොන්ටෙරා සමාගම පියවර තිබෙනවා. COVID-19 සම්බන්ධ මානුෂීය මෙහෙයුම් කටයුතු සහ පවතින අර්බුදය හමුවේ ජනතාව විපතින් මුදවා ගැනීම සඳහා දිවා රෑ නොබලා වෙහෙසෙන සෞඛ්‍ය සේවා නිලධාරීන් හා අනෙකුත් නිලධාරීන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම මුදල් වැය කෙරෙනු ඇති. 

මේ පිළිබඳව අදහස් දක්වමින් ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සහ ඉන්දියානු අර්ධද්වීපය සඳහා කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් සේති මෙසේ පැවසුවා. "සෞඛ්‍ය සේවා නිලධාරීන්, ත‍්‍රිවිධ හමුදාව සහ ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ ක‍්‍රියාත්මක වන කාර්ය සාධක බලකාය මේ මොහොතේ රට මුහුණපා ඇති අර්බුදකාරී තත්ත්වය සමනය කිරීම සඳහා ඉටුකරමින් සිටින මෙහෙවර ප‍්‍රශංසනීයයි. ඔවුන්ගේ උත්සාහයන්ට අත්වැලක් වීම අපගේ ප‍්‍රධානතම ඉලක්කය වී තිබෙනවා.”

මේ අතර පවතින අවිනිශ්චිත තත්ත්වය හමුවේ දේශීය කිරි ගොවීන්ගේ ජීවනෝපාය මාර්ග ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස දිගින් දිගටම ඔවුන්ගෙන් කිරි මිලදී ගැනීමට ෆොන්ටෙරා සමාගම කටයුතු යොදා තිබෙනවා. මෙම ක‍්‍රියාවලිය තුළදී ගොවීන්ගේ හා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පෞද්ගලික ආරක්ෂණ උපකරණ ලබාදීම වැනි පියවර රාශියක් ද ගෙන ඇති බවයි පෙන්වා දෙන්නේ.

"මෙවැනි ව්‍යසනයකදී සියලූම දෙනා එකට එක්වී මානුෂීය ලෙස මෙම මෙහෙවරට උරදීම ඉතාමත් වැදගත්. කිරි නිෂ්පාදන සමාගමක් ලෙස මෙහිදී අප සමග අත්වැල් බැඳගෙන සිටින කිරි ගොවීන්ගේ ජීවනෝපාය මාර්ග ආරක්ෂා කිරීමට අපගේ අවධානය දැඩි ලෙස යොමුවී තිබෙනවා.” සුනිල් සේති වැඩි දුරටත් පැවසුවා. 

එමෙන්ම ග‍්‍රාමීය ජනතාව සඳහා ආහාර සහ වෙනත් පහසුකම් සැපයීම අරමුණු කරගත් වෙනත් වැඩසටහන් සඳහාද  දායකත්වය ලබාදීමටද ඇන්කර් කටයුතු කර තිබෙනවා. තවද රෝහල් සහ සෞඛ්‍ය සේවා නිලධාරීන් සඳහා ආහාර ද්‍රව්‍ය බෙදා දීමට ෆොන්ටෙරා කණ්ඩායම් පියවර ගෙන ඇති අතර, තම දීපව්‍යාප්ත බෙදාහැරීම් ජාලය සමග එක්වී, දිවයින පුරා විවිධ දුෂ්කරතාවන්ට මුහණ දී සිටින ජනතාවට ආධාර ලබාදීමටද කටයුතු යොදා තිබෙනවා.

මේ ආකාරයට විවිධ වැඩසටහන් සඳහා ෆොන්ටෙරා සමාගම මේ දක්වා පරිත්‍යාග කර ඇති මුදල් සහ නිෂ්පාදනවල සමස්ත වටිනාකම රුපියල් මිලියන 12 ඉක්මවන බවයි පෙන්වා දෙන්නේ.       

පවතින අර්බුදය හමුවේ තම සැපයුම් දාමයේ සුරක්ෂිතභාවය තහවුරු කරමින් තම කාර්ය මණ්ඩලයේ සහ සියලූම හවුල්කරුවන්ගේ ආරක්ෂාව සැලසීම සඳහා රු. මිලියන 9 කට වැඩි මුදලක් ආයෝජනය කිරීමට ෆොන්ටෙරා සමාගම මේ වන විටත් කටයුතු කර තිබෙනවා

ඒ අනුව ශ‍්‍රී ලංකාවට මේ අර්බුදයෙන් මිදීම සඳහා ඉදිරියටත් හැකි උපරිමයෙන් සහයෝගය ලබාදීමට සූදානම් බවයි සුනිල් සේති වැඩිදුරටත් පෙන්වා දුන්නේ.