Friday, May 17, 2024

General line - 0115112241

අමෙරිකාවෙන් දැඩි තීරණයක්




ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් ලබාදීම නතර කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම සංවිධානයට අරමුදල් සැපයීම නතර කරන ලෙසට තමන් යටතේ ඇති පරිපාලන අංශවලට දැනුම් දුන් බවයි අමෙරිකානු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ.

කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ කි‍්‍රයාවලියේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිය මූලික රාජකාරිය පවා පැහැර හැර ඇති බවට ද අමෙරිකානු ජනාධිපතිවරයා චෝදනා කර සිටියා. 

චීනය තුළ නව කොරෝනා වෛරසය පැතිර යාමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය එය වැරදි ලෙස කළමනාකරණය කළ බව හා වසන් කළ බවත්, එම කි‍්‍රයාපිළිවෙත වගවීමකට ලක් කළ යුතු බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගත්තේ දින ගණනාවක් පුරා ලෝක සෞඛ්‍ය සංවිධානය හා අමෙරිකාව අතර පැවැති අර්බුදයක ප‍්‍රථිපලයක් ලෙසයි.

ඉකුත් දිනවල කිහිප අවස්ථාවකදීම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානී ටෙඞ්රෝස් ඇඩනම් අතර වාග් සංග‍්‍රාමයක් ද ඇතිවුණා.

කෙසේවෙතත් අමෙරිකාව යනු ලෝක සෞඛ්‍ය සංවිධානය සතු විශාලතම තනි අරමුදල් සපයන්නා වනවා. ඉකුත් වසරේදී පමණක් අමෙරිකාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ප‍්‍රදානය කර ඇති මූල්‍ය අරමුදල අමෙරිකානු ඩොලර් මිලියන 400 ක් පමණ වනවා. 

කෙසේවෙතත් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මෙලෙස පාර්ශ්ව කිහිපයක් වෙතම චෝදනා එල්ල කරමින් සිටින්නේ තවදුරටත් ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් සහ වැඩිම කොරෝනා මරණ සංඛාවක් ද වාර්තා වන රට බවට අමෙරිකාව පත්ව ඇති පසුබිමක් තුළයි. 

ගතවූ පැය 24 තුළ පමණක් අමෙරිකාවෙන් නව කොරෝනා ආසාදිතයින් 24,804 ක් වාර්තා වූ අතර සිදුව ඇති කොරෝනා මරණ ගණන 2,335 ක්. 

මේ වනවිට ලොව පුරා රටවලින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 20 ට ආසන්න වී තිබෙනවා. වාර්තා වි ඇති සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 26,319 ක්.