Friday, May 17, 2024

General line - 0115112241

රාමසාන් සමය වෙනුවෙන් සීමා ලිහිල් කරන්නැයි රටවල් කිහිපයක ඉස්ලාම් පූජකවරුන් ඉල්ලයි




නව කොරෝනා ව්‍යසනය පාලනය කිරීම සඳහා රටවල් වසා තබමින් පනවා තිබෙන සීමා රාමසාන් සමය වෙනුවෙන් ලිහිල් කරන්නැයි ඉස්ලාම් රටවල් කිහිපයක පූජකවරුන් ඉල්ලා සිටිනවා.

ඉස්ලාම් පූජකවරුන් මෙම ඉල්ලීම කරන්නේ ලොව පුරා කිතිනුවන් ඉකුත් පාස්කු සතිය, පනවා තිබූ සීමා යටතේම වෛද්‍ය උපදෙස් උල්ලංඝණය නොකර සමරන ලද පසුබිමකදී වීම විශේෂත්වයක්.

පාකිස්ථානයේ රාමසාන් උපවාස ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ හෙට (25) සිටයි. එසේ තිබියදීත් රට වසා තබමින් පනවා තිබෙන සීමා වහාම ලිහිල් කරන්නැයි එරට ඉස්ලාම් පූජකවරුන් රජයට බල කරමින් සිටිනවා. පනවා තිබෙන සීමා රාමසාන් සමය වෙනුවෙන් ලිහිල් කිරීමට ඊජිප්තුව දැනටමත් තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ඒ අනුව රාති‍්‍ර ඇඳිරි නිති කාලය කෙටි කිරීමටත් ඇතැම් ව්‍යාපාර ආරම්භ කිරීමටත් ඊජිප්තු රජය අවසර දී තිබෙනවා. ඉන්දුනිසියාවේ අචේ ප‍්‍රාන්තයද සීමා ලිහිල් කරමින් සමූහ යාඥා සඳහා අවසර ලබා දී තිබෙන බවයි විදෙස් වාර්තා වල වැඩිදුරටත් දැක්වෙන්නේ.

කෙසේ වෙතත් අචේ ප‍්‍රාන්තය මෙම පියවර ගෙන ඇත්තේ ඉන්දුනීසියාවේ මධ්‍යම රජය ලාබා දී ඇති මාර්ගෝපදේශද උල්ලංගණය කරමින්. 

මේ අතර නව කොරෝනා ව්‍යසනයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර වලට සහන සැලසීමට, රෝහල් ශක්තිමත් කිරීමට සහ වෛද්‍ය පරීක්ෂණ වෙනුවෙන් අමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලය නව සහන පැකේජයක් අනුමත කර තිබෙනවා. එහි වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 484ක්. බලපෑමට ලක්වූ ආර්ථිකයන් යලි ශක්තිමත් කිරීම සඳහා හදිසි ආධාර ලබා දීම වෙනුවෙන් විශාල මුදල් යෙදවීමට යූරෝපා නායකයින්ද එකග වී තිබෙනවා.