Friday, May 17, 2024

General line - 0115112241

කටුනායක ගුවන් තොටුපළට තවත් මාර්ගයක් විවෘත කරයි

ටී කේ ජී කපිල




කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිවිසීම සඳහා නව මහා මාර්ගයක් අද (14) දින උදෑසන 9.00 ට විවෘත කරනු ලැබුවා.

මෙම අවස්ථාවට සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි, එම සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි, එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අරුණ වරුෂහැන්දි, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මසේන, සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ගුවන් සේවා ) සුනිල් ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වුණා.

සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි පැවසුවේ පවතින අවශ්‍යතා සලකා බලමින් මෙම මාර්ගය ඉදිකිරීමට පියවර ගත් බවයි. 

පවතින ගුවන් තොටුපළ ඉදිරිපිට මහා මාර්ගය ඔස්සේ දිනකට රථ වාහන 26,000 ක් පමණ ගමන් ගනිමින් තිබෙනවා. ඒ නිසා දිනපතා ගුවන් තොටුපළ ආශ්‍රිත ප්‍රදේශයේ විශාල වාහන තදබදයක් ඇති වෙන බව නිරීක්ෂණය වුණා. එම වාහන තදබදය අවම කිරීමට මෙම මහා මාර්ගය පිළියමක් බවයි වැඩිදුරටත් සඳහන් කෙරුණේ.

මං තීරු දෙක බැගින්, දෙපසට ගමන් කළ හැකි මං තීරු හතරකින් යුත් මෙම මාර්ගය මීටර් 600 ක දිගකින් යුක්තයි. 

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව මෙම මහා මාර්ගය ඉදිකිරීම සදහා රුපියල් මිලියන 600 ක් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම වැය කර තිබෙනවා.

මෙම මහා මාර්ගය මාස 03 ක් වැනි කෙටි කාළයක් තුළ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකර දී තිබෙනවා. 

මීට මාස තුනකට පමණ පෙර ජනාධිපති, අගමැති සහ විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙවැනි මහා මාර්ගයක අවශ්‍යතාවය පෙන්වා දී තිබූ බවද සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි සඳහන් කළා.