Wednesday, May 15, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මැතිවරණය : පාර්ශ්වයන් 15 ක් අතරමැදි පෙත්සම්කරුවන් වෙයි

අධිකරණ වාර්තාකරු




පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හා මහමැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් පාර්ශ්වයන් 15 ක් අතරමැදි පෙත්සම්කරුවන් ලෙසට මැදිහත් වන බව අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයේදී අනාවරණය වුණා. 

මැදිහත්කාර පෙත්සම්කරුවන් අතර පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර සහ නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත යන අය වනවා. 

ප්‍රජාතන්ත්‍රවාදී  එක්සත් ජාතික පෙරමුණේ මහලේකම ආරියවංශ දිසානායක විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොදිත ඒකනායක ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ මූලික නීතිය වන බැවින් විධායකය, අධිකරණය සහ ව්‍යවස්ථාදායකය යන ආයතන තුන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කොට එය ආරක්ෂා කිරීම වගකීමක් වන බවයි.

කොරෝනා වෛරසය ඇති අවස්ථාවක මැතිවරණය එක් අවස්ථාවකදී කල් තැබීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බවත් දැනට උද්ගත වී ඇති ව්‍යවස්ථා අර්බුදය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සිදු කළ යුතුව තිබුණු බව නීතිඥ ඒකනායක පවසා සිටියා.

ඒ අනුව කොරෝනා වෛරසය සමග උද්ගත වී ඇති මේ අවස්ථාවේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම නොහැකි බවත් යම් හෙයකින් මැතිවරණයක් පැවැත්වුවහොත් ඒ මගින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වන බව නීතිඥවරයා පවසා සිටියා.

මේ අතර මහ මැතිවරණය පැවැත්වීමට පෙර ඒ සදහා  සුදුසු  පරිසරයක් රට තුළ පවතින බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් දැනුම් දීමක් කරන ලෙසට නියෝග කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ද පෙත්සම්කරු ඉල්ලා සිටියි.