Wednesday, May 15, 2024

General line - 0115112241

ඥානසාර හිමිත් අධිකරණයට යයි

අධිකරණ වාර්තාකරු




ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා අපේ ජන බල පක්ෂය විසින් කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එම දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරියා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් ගොනු කළ රිට් පෙත්සම ජූනි මස 09 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළා.  

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් අපේ ජන බල පක්ෂයෙන් කුරුණැගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ නාම යෝජනා පසුගිය මාර්තු මස 19 වැනිදා ප්‍රතික්ෂේප කරන ලදි.  

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එහි සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ නලින් අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ඇතුලු පිරිසක් නම් කර තිබෙනවා.   

තම පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයේ අන්තර්ගත දිවුරුම් පෙත්සමක දෝෂයක් පැවැතියේ යැයි පදනම මත එය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ක්‍රියා කළ බව පෙත්සම්කරුවෝ පවසා සිටියි.  

මේ හේතුවෙන් අදාළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට කුරුණෑගල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ගත් තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි.  

මීට අමතරව පෙත්සම් විභාගය අවසන් වනතුරු කුරුණෑගල දිස්ත්‍රික්කයේ සඳහා මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරුවන් ඉල්ලා සිටිනවා.