Wednesday, May 15, 2024

General line - 0115112241

නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වූ ආකාරය තවමත් සොයයි




ශී‍්‍ර ලංකාව තුළ මේ දක්වා නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් සංඛ්‍යාව 10,173 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. යුද හමුදාපතිවරයා කියාසිටියේ අද (21) දිනයේද තවත් පිරිසක් නිරෝධායනය අවසන් කර පිටව යන බවයි. 

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 16 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සම්පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් 237 ක් දක්වා ඉහළ ගියා.

රෝහල් කිහිපයක ප‍්‍රතිකාර ලැබූ, මෙලෙස සුවය ලබා පිටව ගිය නාවික හමුදා සාමාජිකයින් 16 දෙනා එම රෝහල් තුල ප‍්‍රතිකාර ලබමින් සිටියදී වරින් වර PCR පරීක්ෂණ සදහා ලක් කෙරුණා. ඒවායේ ප‍්‍රතිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුල නොමැති බව තහවුරු වීම හේතුවෙනුයි මෙම පිිරිස රෝහල්වලින් පිටව ගොස් ඇත්තේ.

වැලිසර නාවික හමුදා කඳවුරේ සිටින නාවික හමුදා නිලධාරීන් නිරෝධායනය සඳහා වෙනත් කඳවුරු වෙත යොමු කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ කටයුතු පවත්වාගෙන යාම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය ප‍්‍රමුඛ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් සිදුකරන බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර පැවසුවේ.

යුද හමුදාවේද සහයෝගයෙන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත නාවික හමුදා සෙබළුන් යොමු කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

නාවික කදවුරු ආශි‍්‍රතව කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවකින් ලබාගත් වාර්තාවක් මත පදනම්ව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විසින් නිර්දේශ ලබාදී තිබෙනවා. එම නිර්දේශ දැඩිව කි‍්‍රයාත්මක කළයුතු බවටත් එය එසේ සිදුවන්නේ දැයි පරීක්‍ෂා කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවා.

මේ අතර 11 වන විජයග‍්‍රාහී සැමරුමේ පෙළපාලිය සඳහා පෙරහුරුවකට සහභාගිව සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ නාවික සෙබළුන් දෙදෙනා සම්බන්ධයෙන් සිදුකළ දෙවන PCR පරීක්ෂණයේ වාර්තාවන් මේ දක්වා ලැබී නොමැති බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර පැවසුවේ.

මෙම නාවික හමුදා සෙබළුන් දෙදෙනා ඇතුළු කණ්ඩායමක් ඉකුත් අපේ‍්‍රල් මාසයේදී නිවාඩු ගොස් යලි කඳවුරු වෙත කැඳවා තිබුණා. ඔවුන්ව මරදාන ප‍්‍රදේශයේ පිහිටි ස්ථානයක මාසයකට ආසන්න කාලයක් නිරෝධායනයට ලක් කර සිටි සෙබළුන් බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ.

එලෙස නිරෝධායනයට ලක් කර තිබු පිරිස විජයග‍්‍රාහී සැමරුම් පෙළපාලියට අනුයුක්ත කිරීමට පෙර PCR පරීක්ෂණයට භාජනය කළ අතර එහිදී මෙම සෙබළුන් දෙදෙනා පමණක් කොරෝනා ආසාදිතයින් ලෙස හෙළිවී තිබුණා.

මෙම සෙබළුන් පුරා මාසයක කාලයක් නිරෝධායනයට ලක් කර තිබීම සහ ඔවුන්ට පිටත සමාජයට නිරාවරණය නොවී තිබීමේ පසුබිමක් තුළ කොරෝනා ආසාදිතයින් බවට පත්වීම ප‍්‍රහේලිකාවක් බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ.

ඔවුන්ගේ ජෛව සාම්පල් යලිත් වරක් PCR පරීක්ෂණයන්ට යොමු කර ඇති බවත් එහි ප‍්‍රථිපල අද (21) රාත‍්‍රියේදී ලැබෙනු ඇති බවත් ලූතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර වැඩිදුරටත් පැවසුවා.