Tuesday, May 14, 2024

General line - 0115112241

සහල් හිඟය තවදුරටත් - මහාපරිමාණ මෝල් හිමියන් පැනවූ කොන්දේසියක් හේතුවූවා දැයි සැකයක්




වෙළදපොළේ පවතින සහල් අර්බුදය හේතුවෙන් ප‍්‍රදේශ රැසක ජනතාව අද දිනයේද දැඩි දුෂ්කරතාවන්ට පත් වුණා. 

නෙත් නිවුස් වාර්තාකරුවන් සදහන් කළේ සම්බා සහ නාඩු සහල් වෙළෙඳපොළ තුළ අළෙවි කිරීමට නොමැති බවයි. කෙසේවෙතත් බොහෝ වෙළඳසැල්වල කීරි සම්බා සහ කැකුළු සහල් අලෙවි කිරීම සඳහා සීමිත තොග පවතින බව නෙත් නිවුස් වාර්තාකරුවන් කළ ක්‍ෂේත‍්‍ර චාරිකාවේදී අනාවරණ වුණා. 

කීරි සම්බා කිලෝවක් රුපියල් 110 සිට රුපියල් 115 දක්වාත් කැකුළු සහල් කිලෝවක් රුපියල් 90 සිට 96 දක්වාත් මිල ගණන් යටතේ අළෙවි කිරීම සිදු වනවා. 

සහල් අලෙවි කරන ව්‍යාපාරිකයින් කියා සිටියේ මහා පරිමාණ වී මෝල් වලින් සහල් ඉල්ලූ‍ම් කළ ද ඒවා වැඩි මිල ගණන් යටතේ තමන්ට ලබාදෙන බවයි. පාලන මිලට සහල් ලබාගන්නේ නම් කිලෝ 10,000ක් ඉල්ලූ‍ම් කරද්දී කිලෝ 5,000 ක්් කිරි සම්බා සහල් ලබාගත යුතු යන කොන්දේසියක්ද මෝල් හිමියන් විසින් පනවා ඇති බව ඔවුන් කියාසිටියා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේ සහල් අළෙවි නොකරන සහ තොග රැුස්කර ගෙන සිටින ස්ථාන වටලා දැඩි නීතිමය පියවර ගන්නා බවයි.

එබැවින් සහල් තොග හිගයකින් තොරව වෙළද පොලට නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස අදාළ පුද්ගලයින්ගෙන් පාරිභෝගික අධිකාරිය අද ඉල්ලීමක්ද කළා. 

මේ දක්වා වැඩි මිලට සහල් විකිණීම සම්බන්ධයෙන් වැටලීම් 700 ක් සිදුකර තිබෙනවා. තොග සැගවීම් සහ සහල් විකිණීම් ප‍්‍රතික්‍ෂේප කරන  පුද්ගලයින් සම්බන්ධයෙන් 1977 අංකයට තොරතුරු දැනුම් දෙන ලෙසයි පාරිභෝගික අධිකාරිය ජනතාවට දැනුම් දෙන්නේ.