Wednesday, May 15, 2024

General line - 0115112241

කොරෝනා සුව වූ පිරිස 600 ඉක්මවයි




ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව අද 600 සීමාව ඉක්මවා ගියා. 

අද වනවිට පූර්ණ සුවය ලබා සිටින සංඛ්‍යාව 604 ක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ අද දිනයේ අලූතින් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වී ඇති බවයි. 

ඔවුන්ගෙන් දෙදෙනෙකු මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක්. සෙසු 15 දෙනාම ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින ඩුබායිහි සිට පැමිණි පිරිසක් වනවා. 

ඒ අනුව මේ වනවිට ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,045 ක්. ඒ අතරින් තවත් 432 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. ඊයේ දිනයේ පී සී ආර් පරීක්‍ෂණ 1,108 ක් සිදුකළ නමුත් එමගින් හදුනා ගත්තේ එක් කොරෝනා ආසාදිතයෙකු පමණක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් කියාසිටියේ.

මේ අතර කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවිම සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු දැක්වෙන සංඥා මාලාවක් ජනතාව ගැවසෙන පොදු ස්ථානවල ප‍්‍රදර්ශනය කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 

ඒ, නව ජිවන රටාවක් උදෙසා යන තේමාව ඔස්සේයි. එම සංඥා දිවයින පුරා ජනතාව ගැවසෙන පොදු ස්ථාන, බස් නැවතුම් ස්ථාන, සුපිරි වෙළඳසැල් සහ කාර්යාල ආශ‍්‍රිතව ප‍්‍රදර්ශනය කිරිමට නියමිතයි. 

මේ අතර කොරෝනා වෛරසයේ පැතිර යාම හේතුවෙන් සිර වී සිටින විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීමේ වැඩපිලිවෙල යටතේ 4,500 ක් මේ දක්වා ගෙන්වා ගෙන ඇතැයි විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. 

ශී‍්‍ර ලංකාවට පැමිණීමේ අපේක්‍ෂාවෙන් සිටින සංඛ්‍යාව 41,000 ක්. ඒ අනුව අද සිට ලබන 28 වනදා දක්වා කාලය තුළ විදෙස්ගත ශී‍්‍ර ලාංකික සිසුන් යළි මෙරටට ගෙන්වා ගැනීම සිදුවනු ඇති. ඒ, ඉන්දුනීසියාව, රුසියාව, බංග්ලාදේශය, කටාර් සහ බෙලරූස් යන රටවල සිටයි.