Tuesday, May 14, 2024

General line - 0115112241

පෙත්සම අදත් විභාග වෙයි, ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගෙන් ප්‍රබල නීති තර්ක - එජාපයෙන් අලුත් පෙත්සමක්




පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් ඉක්ම යන තෙක් පාර්ලිමේන්තුව නොකැදවීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීරණය කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. 

එමගින් ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මාර්තු මස 02 වැනිදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙසයි. 

08 වන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු 09වන පාර්ලිමේන්තුව තෝරා ගැනීමට මැතිවරණය ජූනි මස පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කල බව පෙත්සමෙහි සදහන්. 

එම මැතිවරණ  දිනය  පාර්ලිමේන්තුව විසුරුවා හැරි දිනයේ සිට මාස තුනකට පසු දිනයක් වන අතර මැතිවරණ කොමිසමේ එම  තීරණය නීතිවිරෝධී බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් සිය පෙත්සම මගින් පෙන්වා දෙනවා.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මහමැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට දිනට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.  

අද දිනයේ පෙත්සම් කැදවූ අවස්ථාවේ ජනාධිපති ලේකම් පි. බි. ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පවසා සිටියේ කොරෝනා වෛරසය වත්මන් රජය විසින් සාර්ථකව මර්දනය කර ඇති බවයි.  

එබැවින් පෙත්සම්කරුවන් පවසන ආකාරයට පැරණි පාර්ලිමේන්තුව යළි කැදවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව එහිදී ප‍්‍රකාශ කෙරුණා. මේ වන විට ප‍්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් ඉස්මතු නොවීමෙන් එහි සාර්ථකත්වය පෙන්නුම් කරන බවත් පාර්ලිමේන්තුව යළි කැදවීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.