Tuesday, May 14, 2024

General line - 0115112241

භාණ්ඩාගාරයට මුදල් දෙන්න හැකි තැනක් බවට පත් කළ හැකියි : ලංගම යලි ගොඩ නගන්න ජනපති ගෙන් යෝජනාවලියක්




ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ලාභ ලබන ප්‍රමුඛ පෙළේ ආයතනයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරනු වෙනුවට භාණ්ඩාගාරයට මුදල් ලබාදිය හැකි රාජ්‍ය ආයතනයක් බවට ලංගම පත්කිරීමට හැකි බවයි මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දී ඇත්තේ.

ලංකා ගමන ගමන මණ්ඩලයේ වත්මන් තත්ත්වය විමර්ශනය සඳහා අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා.

සතියේ දිනවල පෙරවරුවේ සහ පස්වරුවේ දැඩි මාර්ග තදබදයක් පවතීන බැවින් එය සමනය කරනු පිණිස සිය මෝටර් රථයෙන් කාර්යාලවලට යන පිරිස් පොදු ප්‍රවාහන සේවයට එක් කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ඊට පිළියමක් ලෙස  තෝරාගත් ස්ථානයක මෝටර් රථය නවතා සේවා ස්ථානයට බස් රථයෙන් ගමන් කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක්  (Park and Drive) කඩිනමින් හඳුන්වා දෙන්නැයි ජනාධිපතිතුමා යෝජනා කළ අතර ඒ සඳහා උපරිම පහසුකම් සහිත බස් රථ ඊට එක්කළයුතු බවද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

පාසල් සිසුන් සඳහාම ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් පාසල් බස් සේවය ප්‍රවර්ධනය කළයුතු ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. පාසල් බස් රථ කහ පාට ගන්වා මහා මාර්ගයේ දී ප්‍රමුඛත්වයක් ලැබෙන ආකාරයෙන් ධාවනය කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණ.

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ සහ පෞද්ගලික බස් රථ වර්ණ දෙකක් යටතේ ධාවනයට යෙදවීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. 

සේවක දිරිගැන්වීම, අලුත් ක්‍රම හඳුන්වාදීම, නාස්තිය අවම කිරීම සහ හොරකමට තිත තැබීම සඳහා විධිමත් පියවර අනුගමනය කිරීම ගැන ද සාකච්ඡාවට ලක් විය. ආයතනය දියුණු කිරීම පිණිස නිරන්තර පර්යේෂණ සහ සමීක්ෂණ සිදු කළයුතුව ඇතැයි ද ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියා.

4500 ක පමණ දක්ෂ කාර්මික නිලධාරීන් කණ්ඩායමක් ලංකා ගමනා ගමන මණ්ඩලයේ සිටියි. ඔවුන්ගෙන් උපරිම ප්‍රයෝජන ගෙන ආයතනයෙන් පිටත නඩත්තු කිරීම් සඳහා ඇණවුම් භාරගැනීමෙන් මුදල් ඉපැයිය හැකි බව ජනාධිපතිතුමා සඳහන් කර සිටියා. ප්‍රයෝජනයට නොගත් විශාල භූමි ප්‍රමාණයක් ලංගම සතු බවත් එම ඉඩම් නිසි කළමනාකරණයෙන් ද මුදල් ඉපැයිය හැකි බව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබුවා.

ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරයට කෘෂි අස්වනු ප්‍රවාහනයෙන් ගොවියාට මෙන්ම පාරිභෝගිකයාට ද සහන සැලසීමේ හැකියාව ලංගම සතුව ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළා. පුහුණු පාසල් තවදුරටත් දියුණු කර සේවක දැනුම පුළුල් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබූ අතර කෙටි, මධ්‍ය හා දිගු කාලීන සැලැස්මකට අනුව සමස්ථ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට ද  ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ.