Monday, May 20, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මැතිවරණය : පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට




පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මහමැතිවරණය ජුනි 20 වැනිදා පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට (27) දිනට කල් තැබුණා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අදත් මෙම පෙත්සම් සලකා බැලූනු අතර නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ඉංදිකා දේමුණි ද සිල්වා එහිදී කරුණු දැක්වූවා. රාජ්‍ය බුද්ධි සේවාව විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති වාර්තාවක ඇතුළත් තොරතුරු සමහරක්ද එහිදී හෙළි කෙරුණා.

ඉකුත් මැයි මස 01 වැනිදායින් පසු මේ දක්වා විවෘත ප‍්‍රජාවෙන් නව්‍ය කොරෝනා ආසාධිතයන් හදුනාගෙන නැතැයිද මේ වන විට නව්‍ය කොරෝනා ආසාධිතයන් සම්පූර්ණයෙන්ම පාහේ හදුනාගැනෙන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් බවද එම වාර්තාවේ සදහන්ව ඇති බවයි ඇය කියා සිටියේ.

ඒ අනුව මහමැතිවරණය කඩිනමින් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකි බවත් මැතිවරණය එක් දිනකදී හෝ දින කිහිපයකදි පැවැත්වීමට නීතිමය විධිවිදාන තිබෙන බවත් වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

නව්‍ය කොරෝනා වෛරසය මර්දනය කිරීමට පවතින නීති රීති ප‍්‍රමාණවත් බවයි අතිරේක සොලිසිටර් ජනරාල් ඉංදිකා දේමුණි ද සිල්වා පැවසුවේ. ඒ අනුව පැවති පාර්ලිමේන්තුව නැවත කැදවා නීති සම්පාදනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයිද ඇය පෙන්වා දුන්නා.