Monday, May 20, 2024

General line - 0115112241

කාලසටහන් අනුව සියලූ දුම්රිය ධාවනය කිරීමටත් සැලසුම්




අද (27) සිට තවත් දුම්රිය කිහිපයක් වැඩිපුර ධාවනයට යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මගී ඉල්ලීම් සහ ඇතැම් දුම්රිය ස්ථානවල ඊයේ (26) ඇති වූ තත්ත්වයන් ද සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බවයි එහි සාමාන්‍යධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු පැවසුවේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ඊයේ දිනයේ දුම්රියෙන් කොළඹට පැමිණ ඇති මගීන් ගණන 16,282ක්. අද 16,500 ක් පමණ පිරිසක් දුම්රියෙන් කොළඹට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර ලබන මාසයේ සිට කාලසටහන් අනුව සියලූ දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

දුම්රිය ආසන ඔන්ලයින් ක‍්‍රමයට වෙන්කර ගැනීමේ පහසුකම තවදුරටත් පවත්වාගෙන යාමට ද අපේක්ෂා කරන බවයි දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මෙහිදී කියා සිටියේ.

මේ අතර ඊයේ දිනයට වඩා වැඩි බස් ප‍්‍රමාණයක් අද ධාවනයට යොදවන බව ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ද පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ධාවන ඒ. එච්. පණ්ඩුක මේ බව සඳහන් කළා.

පෞද්ගලික බස් රථ ද ඊයේ දිනයට වඩා වැඩි ප‍්‍රමාණයක් අද ධාවනයට යෙදවෙනු වෙතැයි අපේක්ෂා කෙරෙනවා. කෙසේවෙතත් බස් රථ සඳහා ප‍්‍රමාණවත් මගින් නොමැති බවට පෞද්ගලික බස් රථ හිමියන් මැසිවිල්ලක් ද නැගුවා.